රටක් නැතිව වසර හතක් ජීවත් වූ හිට්ලර්

2017-09-22 09:37:00       31
feature-top
ඇඩොල්ෆ් හිට්ලර් යනු 20 වන සියවසේ පාලකයන් අතුරින් වැඩියෙන්ම කතාබහට ලක් වූ අයකු බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. 1933 දී ජර්මන් චාන්සලර් බවට පත් වූ ඔහු 1934 දී ජර්මන් ජනාධිපති ෆීල්ඩ් මාර්ෂල් පෝල් ෆොන් හින්ඩන්බර්ග් මිය ගිය පසු එරට නායකයා බවට පත් වුණා. ඉන්පසු ඔහුව හඳුන්වා ගනු ලැබූයේ ෆ්‍යුරර් නැතහොත් “නායකයා” යන නමින්. 1945 අප්‍රේල් 30 වනදා දක්වා ඔහු ජර්මනිය පාලනය කළා.

හිට්ලර් විශ්වාස කළේ ලොව ශ්‍රේෂ්ඨතම ජාතිය ජර්මානු ජාතිය බවයි. පළමු ලෝක යුද්ධයෙන් පරාජය වී පසුබැස තිබූ ඒ රාජ්‍යය ආපහු නගා සිටුවන්නත් එය ලෝකයේ ශ්‍රේෂ්ඨම රාජ්‍යය කරන්නත් ඔහු හීන මැව්වා. ඔහු බලාපොරොත්තු වුනේ ජර්මනිය නැගෙනහිර දෙසට ව්‍යාප්ත කිරීමටයි.

හිට්ලර් ජර්මනියේ පාලකයා බවට පත් වුනාට ඔහු උපතින් ඔස්ට්‍රියානුවකු බව ඔබ දන්නවා ඇති. අපි ඒ පිළිබඳ මීට කිහිප දිනකට පෙර පළ වූ ලිපියකින් කරුණු ගෙනාවා ඔබට මතක ඇති.

කෙසේ නමුත් බොහෝ දෙනෙක් නොදන්නා කරුණක් වන්නේ හිට්ලර් අවුරුදු හතක් රටක් නැති අයකුව සිටි බවයි. ඒ කියන්නෙ ඔහු කිසිම රටක පුරවැසියකු වුණේ නැහැ. මේ සත් වස තුළ ඔහුට මැතිවරණවලට ඉදිරිපත් වීමට පුලුවන්කමක් තිබ්බෙත් නැහැ. මේ කියන කාළය තුළ ඔහු නායකත්වය දුන් ජර්මනියේ නට්සි පක්ෂය මේ කාළය තුළ මැතිවරණවලට ඉදිරිපත් වුණත් හිට්ලර් කවදාවත් ඒ මැතිවරණවලට තරඟ කළේ නැහැ.

හමුදා සේවය මග හැරීම

හිට්ලර් උපන්නෙ ඔස්ට්‍රියාවෙ බ්‍රවුනාවු ඇම් ඉන් නම් නගරයේ. ඒ 1889 අප්‍රේල් 20 වෙනිදා. මේ කාලයෙ ඔස්ට්‍රියාව ඇත්තෙන්ම ගත්තොත් ඔස්ට්‍රියා – හන්ගේරියානු අධිරාජ්‍යයේ කොටසක්. මේ අධිරාජ්‍යයේ වර්තමාන ඔස්ට්‍රියාව අයත් ප්‍රදේශයේ වාසය කළේ ජර්මන් ජනතාව . (ඒ කියන්නෙ ජර්මන් කතා කරන අය ). මේ අධිරාජ්‍යය පාලනය කළේ හැප්ස්බර්ග් රාජවංශයයි. ඔවුනුත් ජර්මන් කතා කරන අයයි. නමුත් රටේ විවිධාකාර ජාතීන්ට අයත් අය සිටියා.

හිට්ලර් බ්‍රවුනාවු හි ජීවත් වූයේ ටික කළයි. ඉන් පස්සෙ ඔහු ලින්ස් නගරයටත්, පසුව 1905 සිට , වියානාවටත් යනවා. මේ අතරෙ 1910 දි, වයස අවුරුදු 21 පිරුණහම , ඔහු අනිවාර්ය යුධ සේවයට යා යුතු වනවා.

නමුත් හිට්ලර් යුධ සේවයට වාර්තා කරන්නේ නැහැ. ඇතැම් අය ඔහු යුධ සේවයට වාර්තා නොකළේ බය නිසා යයි කියන්න උත්සාහ කළත් හිට්ලර් පිළිබඳ ලියූ බොහෝ ලේඛකයන් එය පිළිගන්නේ නැහැ.

මේ සමය වෙද්දී හිට්ලර් තුළ ජර්මන් ජාතිකවාදී අදහස් රෝපණය වෙලා තිබුණා. ඒ නිසා ඔහු ඔස්ට්‍රියා – හන්ගේරියානු අධිරාජ්‍යය හමුදාවේ සේවය කරන්න අකමැති වෙන්න ඇතැයි ඇතැම් ඉතිහාසඥයින් සහ ලේඛකයන් සිතනවා. ජාතීන් රැසක් ඉඳපු හමුදාවක සේවය කරන්න අකමැති වීම නිසා ඔහු අනිවාර්ය යුධ සේවය මග අරින්න ඇතැයි ඔවුන් තර්ක කරනවා.

හිට්ලර් වියානා නුවර ජීවත් වෙච්ච සමයේ යුධ සේවය මග හැරීම සම්බන්ධයෙන් ඔහුව ඔස්ට්‍රියානු රජය සොයන්නට ඇතත් ඔහුව බලධාරීන්ට හසු වූයේ නැහැ. ඔහු 1913 දී වියානාව අත හැර ජර්මනියේ මියුනික් කරා ගියාට පසුව ඔස්ට්‍රියානු බලධාරීන් ඔහු ඉන්නා තැන සොයා ගන්නවා. ඔස්ට්‍රියා රජය ඔහු වෙත දන්වා යවන්නේ අනිවාර්ය යුධ සේවය සඳහා ඔහු වාර්තා කළ යුතු බවයි.

හිට්ලර් සහ ඔස්ට්‍රියානු රජය අතර මේ පිළිබඳව පැවැති ලියුම් ගනුදෙනු සමහරක විස්තර ජෝසෆ් ග්‍රේනියර් නම් ලේඛකයා ලියූ Das ende des Hitler-Mythos (හිට්ලර් මිත්‍යාවේ අවසානය ) නම් කෘතියෙහි සඳහන් වෙනවා. එහිදී හිට්ලර් කියා සිටින්නේ තමා මියුනික් වෙත ආවේ හමුදා සේවයෙන් පැන යාමේ අදහසින් නොවන බවයි. එමෙන්ම තමා හමුදා සේවයට බැඳීම සඳහා වෛද්‍ය පරීක්ෂණයක් වෙනුවෙන් ඉදිරිපත් වීමට සූදානම් බවද ඔහු කියා සිටිනවා. නමුත් ඒ සඳහා ලින්ස් නගරයට පැමිණීමට තමාට නොහැකි බවත් ස්ට්‍රාස්බර්ග් නගරය කරා එන්නට කැමති බවත් ඔහු කියනවා. ඊට හේතුව වන්නේ මුදල් හිඟකමයි. ස්ට්‍රාස්බර්ග් යනු ජර්මන් දේශසීමාව ආසන්න ඔස්ට්‍රියානු නගරයක්. මියුනික් සිට එහි එන්නට අඩු වියදමක් වැය වන නිසා තමයි හිට්ලර් ඒ විදියේ ඉල්ලීමක් කරන්නෙ.

1914 පෙබරවාරියේදි හිට්ලර් හමුදා සේවය සඳහා වෛද්‍ය පරීක්ෂණයට සහභාගී වුණා. එහිදී ඔහුට පෙනහලු ආබාධයක් ඇති හෙයින් හමුදාවට තබා අතිරේක හමුදාවකටවත් ඔහු බඳවා ගත නොහැකි බව තීරණය කෙරුණා.

නමුත් 1914 අගෝස්තුවේ යුද්ධය ආරම්භ වූ විට හිට්ලර් බැවේරියාවේ රජතුමා වෙත ඉල්ලීමක් කර බැවේරියානු හමුදාවට බැඳෙන්න අවසර ලබා ගත්තා. බැවේරියාව ඒ කාළයේ ජර්මන් අධිරාජ්‍යයේ කොටසක් වූ නමුත් වෙනමම හමුදාවක් එයට තිබුණා. යුධ සමයකදී පමණක් එය ජර්මන් හමුදාව යටතට ගනු ලැබුණා.


සොල්දාදුවකු සමයේ හිට්ලර් දකුණු කෙළවරේ. (Bundesarchiv, Bild 146-1974-082-44 / CC-BY-SA 3.0)

මෙසේ හමුදාවට බඳවා ගැනීම අත්වැරැද්දක් බවට සැක කෙරෙනවා. මොකද හිට්ලර් ජර්මන් පුරවැසියකු නොවුණ නිසා. හිට්ලර් ජර්මන් හමුදාවේ කෝප්‍රල්වරයකු ලෙස කටයුතු කළ අතර ඔහුගේ රාජකාරිය වූයේ පණිවිඩ ගෙන යාමයි. නමුත් ඔහු සිය කාර්යභාරය හොඳින් ඉටු කළ බව සඳහන්. එයට සාක්ෂිය වන්නේ දෙවතාවක්ම නිර්භීතභාවය වෙනුවෙන් ඔහුට “යකඩ කුරුසය ” සම්මානය ප්‍රදානය කිරීමයි. 1914 දෙසැම්බරයේ දී “යකඩ කුරුසය ” දෙවන පන්තියේ සම්මානය ද 1918 අගෝස්තුවේ දී “යකඩ කුරුසය” පළමු පන්තියේ සම්මානය ද ඔහු වෙත ප්‍රදානය කෙරුණා.

කොහොම වුනත් ඔස්ට්‍රියානු හමුදා සේවය මග හැරීම හිට්ලර්ට පසු කාලීන ජීවිතයේ හිතට වදදුන් ප්‍රශ්නයක්. හිට්ලර් බිය වන්නට ඇත්තේ ඔහුගේ අතීතය හාරා අවුස්සන්නකු, එම සිද්ධිය ඔහු අපකීර්තියට පත් කරන්නට යොදාගනු ඇතැයි යනුවෙන්. 1938 දී ජර්මනිය විසින් ඔස්ට්‍රියාව ඈඳාගත් විගස තමන් සහ ඔස්ට්‍රියානු රජය අතර වූ ලියුම් ගනුදෙනුවට අදාල ලිපි ලේඛන සොයා ගනු පිණිස SS භටයින් පිරිසක් ලින්ස් නගරයේ ලේඛනාගාරය වෙත එවන්න හිට්ලර් කටයුතු කළා. නමුත් ඔවුනට එම ලිපි සොයාගත නොහැකි වූ අතර හිට්ලර් ඒ පිළිබඳ දැඩි සේ කෝප වූ බව සඳහන්.

ලින්ස් හි රජයේ නිලධාරියකු SS භටයින් පැමිණෙන්නට පෙර එම ලිපි ලේඛනාගාරයෙන් ඉවත් කරගත් බව සඳහන්. දෙවන ලෝක යුද්ධයෙන් පසුව එම ලිපි අදාළ නිලධාරියා විසින් තමන්ට පෙන්වූ බව ජෝසෆ් ග්‍රේනියර් පවසනවා.

පුරවැසිකම අත හරින්න හේතුව

යුද්ධයෙන් පසුවත් හිට්ලර් දිගටම ජර්මනියේ මියුනික් හි ජීවත් වුණා. එමෙන්ම ඔහු එරට දේශපාලන කටයුතුවලත් යෙදුණා. ජර්මන් කම්කරු පක්ෂය කෙටි කළකින්ම ඔහුගේ නායකත්වයට පත් වුණා. පසුව නට්සි පක්ෂය බවට පත්වූයේද මෙයයි. මුල් කාළයේ එය බැවේරියාවේ ක්‍රියාත්මක වූ කුඩා පක්ෂයක්.

මේ අතර 1923 නොවැම්බරයේදි ඔහු බැවේරියානු රජය පෙරළීමේ කුමන්ත්‍රණයක් දියත් කළා. එය අසාර්ථක වූ පසු වසරකට වැඩි කළක් සිරගතව සිට ඔහු නිදහස ලැබුවා. නිදහස ලැබුවත් ඔහුට 1923 සිට වසර 6 කට බලපැවැත්වෙන පරිදි ප්‍රසිද්ධ දේශපාලන කටයුතු සඳහා තහනමක් පනවා තිබුණා. මෙම තහනම කඩකළේ නම් ඔහු නැවත අත් අඩංගුවට ගැනීමේ ඉඩක් තිබුණා. එමෙන්ම ඔහු ඔස්ට්‍රියානු පුරවැසියකු වූ බැවින් එසේ අත් අඩංගුවට ගත්තේ නම් ඔහු යළි එරටට පිටුවහල් කරනු ලැබීමේ ඉඩක්ද තිබුණා. එයට ඔහු කිසි සේත් කැමැත්තක් දැක්වූයේ නැහැ. ඔහු සිය අනාගතය දුටුවේ ජර්මනියේ මිස ඔස්ට්‍රියාවේදී නෙවෙයි.

මෙම අවදානමෙන් මිදීම සඳහා ඔහු 1925 අප්‍රේල් 7 වනදා ඔස්ට්‍රියානු පුරවැසිකම අත හැරියා.

හිට්ලර් ඔස්ට්‍රියානු පුරවැසිකම අත හැරියා කියා ඔහුට ජර්මන් පුරවැසිකම ඉබේ ලැබුණේ නැහැ. ඔහු ඒ සඳහා ඉල්ලුමක් කළෙත් නැහැ. ඒ අනුව ඔහු රටක් නැති අයකු ලෙස තමයි මීළඟ අවුරුදු 7 කට ආසන්න කාළය ජීවත් වූයේ. ප්‍රසිද්ධ දේශපාලනයේ නිරත වීමේ තහනම් කාළය ඉක්ම ගිය පසු ඔහුට දේශපාලන රැස්වීම් ඇමතීම ආදී දේ කළ හැකි වුවත් මැතිවරණවලට තරඟ කළ හැකි වූයේ නැහැ.

මේ ප්‍රශ්නය 1932 දි හිට්ලර්ට බලපාන්නට නියමිතව තිබුණා. ඒ වසරේ ජර්මනියේ ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිත වුණා. මේ වෙද්දි නට්සි පක්ෂය ප්‍රබල දේශපාලන ව්‍යාපාරයක් වූ හෙයින් මෙම සටනට එය ඉදිරිපත් වීම බලාපොරොත්තු විය යුත්තක් වුණා. හිට්ලර් එම තරඟයට ඉදිරිපත් වූයේ ජයග්‍රහණය කරන අදහසින්. ඒ නිසා වෙනත් අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමේ අදහසක් ඔහුට තිබුණෙත් නැහැ.

මේ අවස්ථාවේ ඔහුගේ උපකාරයට පැමිණියේ එවකට ජර්මනියේ ප්‍රාන්තයක් වූ බ්‍රන්ස්වික් නිදහස් රාජ්‍යයේ (Free State of Brunswick) අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා වූ ඩීට්‍රිෂ්ට් ක්ලැගස් (Dietricht Klagges). 1930 දි ප්‍රාන්ත මැතිවරණයෙන් පසු නට්සි පක්ෂය ඇතුලත් සභාග රජයක් එම ප්‍රාන්තය පාලනය කළා. ක්ලැගස් විසින් හිට්ලර්ව ජර්මනියේ ජාතික ව්‍යවස්ථාදායකයේ ඉහළ මන්ත්‍රී මණ්ඩලය වූ රයිෂ්රාටයේ බ්‍රන්ස්වික් නිදහස් රාජ්‍යය විසින් නම් කෙරෙන රජයේ නියෝජිතයකු ලෙස නම් කිරීමට සමත් වුණා. මේ නම් කිරීමත් සමඟ ඔහුට බ්‍රන්ස්වික් හි පුරවැසිකම ලැබුණ අතර ඒ සමඟම ජර්මන් පුරවැසිකම ද හිමි වුණා. මෙය සිදු වූයේ 1932 පෙබරවාරියේදී. එනම් ජනාධිපතිවරණයට මාසයක් තිබියදී.

ජර්මන් දේශානුරාගය සිය දේශපාලන වාහනය කරගත් හිට්ලර් ජර්මනියේ පුරවැසියකු ලෙස ජීවත් වූයේ වසර 13 ක් පමණයි. ඔහු 1945 අප්‍රේල් 30 වනදා දිවි නසාගත් බව සැළකෙනවා.

roar.media


More News »