අනාගතය දුටු ඩාවින්චි

2017-09-28 11:10:00       27
feature-top
මොනාලිසා කියන්නේ අදටත් හරියටම විද්‍යාඥයන්ට පවා අදටත් හරි හැටි අවබෝධ කර ගත නොහැකි නිර්මාණයක්. 1452 දී ඉපිද 1512 දී මිය යන ඩාවින්චි එදා තම කටුසටහන් වල නිර්මාණය කළ සමහරක් උපකරණ හා එම තාක්ෂණයන්ට සමාන තාක්ෂණයක් අද අපි භාවිතා කරන සමහරක් උපකරණ වල පවතිනවා. ලියනාඩෝ ඩාවින්චි කියන්නේ අවුරුදු හැටක් වගේ කාලයක් ජීවත් වුණු චරිතයක්. නමුත් ඒ අවුරුදු 60 තුළ ඔහු කරපු කියපු දේවල් නම් අපි තාමත් භාවිතයට ගන්නවා.

ඩාවින්චි කියන්නේ මිනිස් සිරුර ගෙන විශාල ලෙස පර්යේෂණ කළ විද්‍යාඥයෙක්. මේ නිසා මාංශ පේශි හා අස්ථි වල ක්‍රියාකාරිත්වය පිළිබඳව ඔහුට විශාල දැනුමකින් යුතු වුනා. තවද මෙම මුලධර්මය  යම්කිසි යන්ත්‍රයක් වෙනුවෙන් යොදා ගත හැකි බව ඔහු පවසා සිටියා. ලුඩොවිකෝ සර්ෆොසා නම් වූ ධනවතෙක් ඩාවින්චි විසින් එම මුලධර්මය මත නිපදවූ රොබෝ නයිට්වරයෙකුව තමන්ගේ උත්සව වල විනෝදාත්මක කටයුතු වෙනුවෙන් යොදා ගෙන තිබෙනවා. කම්බි රැහැන් මගින් ක්‍රියාත්මක කළ මෙම රොබෝට ඇවිදීමට, වාඩිවීමට පවා හැකියාව තිබී ඇති අතර ඒ වෙනුවෙන් යොදා ගත් තාක්ෂණය එකල විශ්මයක් ව පැවතුණා. මෙහි කප්පි හා ගියර් පද්ධතියක්ද තිබූ බව පැවසෙනවා. 2002 වසරේදී රොබෝ විශේෂඥ මාර්ක් රෝශේම් විසින් ඩාවින්චිගේ සටහන් යොදා ගෙන එම රොබෝව ප්‍රතිනිර්මාණය කර තිබෙනවා. එමෙන්ම නාසා ආයතනය භාවිතා කරන ග්‍රහලෝක ගවේශන රොබෝවරු නිර්මාණය වෙනුවෙන්ද මාර්ක් මෙම නිර්මාණයේ යම් යම් කොටස් භාවිතා කළ බව සඳහන් වෙනවා. අභ්‍යවකාශ ගවේශනයෙන් අඩ සියවසක් ගත වන විට ඩාවින්චිගේ නිර්මාණ ඒ අනුව අභ්‍යාවකාශ කටයුතු වෙනුවෙන්ද යොදා ගනු ලැබුවා.

මෙයත් තරමක් විවාදාත්මක හා ඩාවින්චිගේ නිර්මාණ සටහන් අතර තිබු අපූරු සටහනක් ලෙස සලකනු ලබනවා. මෙය නවීන හෙලිකොප්ටර වල භාවිතා කරනු ලබන පෙත්ත යට ඇති විශාල භ්‍රමණ උපකරණයට (whirling pinwheel) විශාල සමානකමක් දක්වනු ලබනවා. එකල මෙය ඉතා වේගයෙන් කැරකෙන විට එහි පෙත්ත මගින් ඇතිවන ඇතිවන එසවීමේ බලය මත මොහු ගුවන්යානා හා හෙලිකොප්ටර පවා සෑදීමට සුදානමින් සිටි බවට දැක්වෙනවා. නමුත් එම Aerial Screw ප්‍රායෝගික එකක් ලෙස සලකන්නේ නෑ.

යුරෝපය වසංගත වලින් වෙලී තිබූ වර්ෂ 1400 දී පමණ ඩාවින්චි යුරෝපයේ සිටි බවට සැලකෙනවා. මෙම වසංගත වලට බොහෝවිට ගම්බද ප්‍රදේශ වලට වඩා නගරබද ප්‍රදේශ ගොදුරු වී තිබුණා. මෙසේ වසංගත වලට හසුවිය හැකි නගර වලට ඩාවින්චි විසින් යම් යම් න්‍යායාත්මක යමක් නිර්මාණය කර තිබුණා. නමුත් මෙහි ඇති පුදුමයට කරුණ නම් ඒ සැලසුම් නිසා විසිවන සියවස තෙක් එම නගර වසංගත වලින් ආරක්ෂා වී පැවතීමයි. මෙම නගර සැලසුම් කිරීමට ඩාවින්චි මහත් වූ කැමැත්තක් දක්වා තිබෙනවා. බිම් මට්ටම, සනීපාරක්ෂක හා පිරිසිදු බව මෙන්ම ජීවත්වීමට හැකි බවින් යුතු නගර ඩාවින්චි නිර්මාණය කළත් එම නගර කවදාවත් ගොඩ නැගීමට නම් හැකියාවක් ලැබී තිබුණේ නැහැ.

ඩාවින්චිගේ මෙම ආදර්ශ නගරය මට්ටම් කිහිපයකට කොටස් කරනු ලැබුවා. අපද්‍රව්‍ය රැගෙන යන කානු පද්ධතියක් මෙහි ඇතුලත් වූ අතර නවීන ජලනල එතීම් පද්ධති වලට සමාන ජල නල පද්ධතියක් හරහා ගොඩනැගිලි හරහා ජලය ගෙනයාමට උපකල්පනය කර තිබුණා. ඇත්තනම ඔහුගේ නගර නිර්මාණ සැලසුම් තරමක් සංකීරණ හා සම්පත් විශාල ප්‍රමාණයක් මත පදනම් වූවක් වුණා.

මෙය ඉතිහාසයේ ප්‍රථම මෝටර් රථය ලෙසද හැඳින්විය හැකි වනවා. එමෙන්ම මෙහි කිසිදු රියදුරෙකු නොමැති නිසා මෙය රොබෝ වාහනය ලෙසද හඳුන්වාදීම කළ හැකි වනවා. එමෙන්ම ඩාවින්චි විසින් මෝටර් රථයක් ලෙස ඇඳ තිබෙන සටහන් නිසි ලෙස සම්පූර්ණ වී නැති නිසා එම සටහන් කුමක් වෙනුවෙන් නිර්මාණය කළා ද යන්න පිළිබඳව නුතන ඉංජිනේරුවන්ට අනුමානය කිරීමට සිදුවී තිබෙනවා. එය ගෙන ඇති හොදම අනුමානය වන්නේ එය ඔරලෝසුවකට සමාන වන ලෙස නිර්මාණය කර ඇති යාන්ත්‍රණයකින් යුක්ත වන බවයි. මෙහි ඇති ප්‍රධාන ස්ප්‍රින්ග් එක බෙරයක් වැනි දෙයකින් ආවරණය වී ඇති අතර එය චලනය කළ හැකි වනවා.

මෙම රථය දකුණු දිශාවට පමණක් හැසිරවීම සිදු කළ හැකි අතර ඒ නිසා මෙහි ප්‍රයෝජන ගැනීමේ හැකියාව සීමිත වෙනවා. මෙය ලියනාඩෝ විසින් සෙල්ලම් කරත්තයක් ලෙස නිර්මාණය කළත් එහි ඊට එහා ගිය දෙයක් ඔහු බලාපොරොත්තු නොවූ බව නම් කාටවත් කියන්න බෑ.

ලුඩොවිකෝ සර්ෆොසා ආදිපාදවරයා  වෙනුවෙන් මිලානෝ නුවර වැඩ කරමින් සිටින විට ඩාවින්සි මෙම යුද්ධ රථය පිළිබඳව අදහස ඉදිරිපත් කර තිබෙනවා. මිනිසුන් අට දෙනෙකුගේ මාංශ පේශි බලයෙන් ක්‍රියා කළ හැකි, ඉබ්බෙකුගේ වැනි කටුවකින් ආවරණය වූ තුවක්කු හිස් 36කින් මෙය සමන්විත වුණා. මෙහි ඇති පිටත ආවරණය නිසා එය රැගෙන යන මිනිසුන් අට දෙනාට හානියකින් තොරව එය යුද්ධ පිටිය මැදට රැගෙන යා හැකිව තිබුණා. තවද තුවක්කු එම යන්ත්‍රය වටේටම ස්ථාන ගත කර තිබූ නිසා එය යුද්ධයෙදී සතුරන්ට වඩාත් ආක්‍රමණශීලි එකක් වුණා. ඩාවින්චිගේ මෙම සටහනේ හරි අපූරු දෝෂයක් සටහන් ව තිබුණා. ඒ එහි ඇති ගියර පද්ධතිය මගින් ඉදිරිපස රෝද ඉදිරියට චලනය කරන විට පසුපස රෝද ඊට විරුද්ධ දිශාවට චලනය වීමයි. මේ නිසා මෙම රථය චලනය වීමට නොහැකි තත්ත්වයක් පෙන්නුම් කළා. නමුත් ඉතිහාසඥයන් සඳහන් කරන්නේ මෙය ඔහු හිතා මතාම කළ හැකි එකක් වන්නට හැකි බවයි. එයට හේතු ලෙස ඔවුන් සදහන් කරන්නේ ඩාවින්චිට සත්‍ය වශයෙන්ම යුද්ධ ටැංකියක් නිර්මාණය කිරීමට හේතුවක් නොතිබීම හා මෙය සතුරන් අතට පත්වනු ඇතැයි ඔහු තුළ බියක් තිබෙන්නට ඇති බවයි.

15 සියවසේ වැනීසිය ආශ්‍රිතව ජිවත් වන විට මොහු සතුරු නැව් වල දිය යටින් කිමිදී ගොස් ඒවායේ කුහර සාදා එම නැව් ගිල්විය හැකි අපුරු උපක්‍රමයක් සැලසුම් කළා.මෙහිදී මෙයට අදාලව මෙම කිමිදුම් කට්ටලයේ උපත සිදු වුණා. එය මේ කාලයේ එතරම් පුදුමයට කරුණක් නොවුවත් ඩාවින්චිගේ සමයේ එය නැවුම් අදහසක් වුණා. මෙහි පළමු අදහස යටතේ මුහුණු ආවරණයක් සමගින් පාවෙන වායු පිරවූ බෝතලයක් ඔවුන්ට මේ සමග රැගෙන යා යුතු වුනා. දෙවැනි අදහස වුණේ හුස්ම ගැනීම වෙනුවෙන් වායු පිරවූ වයින් මල්ලක්  සම්බන්ධ කිරීමයි.නමුත් මේ ක්‍රම දෙකේදීම මුත්‍රා කිරීම වෙනුවෙන් බෝතලයක් රැගෙන යා යුතු වූ නිසා ඔවුන්ට ජලය තුළ එතරම් කාලයක් රැඳී සිටීමේ හැකියාවක් ලැබුණේ නෑ.

යුද්ධය කිව්වම මැෂින් ගැන එක කියන යුද්ධ උපකරණය නැතුවම බැරි යුද්ධ උපකරණයක්. නමුත් ඩාවින්චිගේ මැෂින් ගන් එක අද අපි දකින මැෂින් තුවක්කුව වගේ නම් වුණේ නෑ. එහි එක් තුවක්කු කටක් මගින් අඛන්ඩව උණ්ඩ පිටවීමක් සිදු වුණේ නෑ. ඩාවින්චිගේ මැෂින් තුවක්කුව පසුපස තිබුනේ ඉතාමත් සරල වූ තාක්ෂණික ක්‍රියාවලියක්. මෙහිදී සිදුවන්නේ එක පෙළට සවිකරන ලද තුවක්කු 11ක් ඍජුකෝණාස‍්‍රකාර වූ තැටියක සවිකරන අතර එවැනි තැටි තුනක් ත්‍රිකෝණකාර හැඩයට සකසා ගැනීමයි. ඉන්පසු මැද තබන ලද පාලකයක් මගින් මෙය චලනය කරන අතර එහි එක කොටසකින් උණ්ඩ පිටවන විට එක කොටසක් සිසිලනය වන අතර අනෙක් කොටසට නැවත උණ්ඩ පිරවීම සිදුකරනු ලබනවා.

නමුත් ඩාවින්චි තම සෑම සටහනකම පවසන්නේ තමන් මිනිසුන් නසන මෙවන් යන්ත්‍ර නිපදවීමට ප්‍රිය නොකරන බවත් තමන් යුද්ධයට වෛර කරන බවත්ය. තමන්ට ජීවත් වීමට හා තමන් අනුග්‍රහය දක්වන්නන්ගේ  යුද්ධ ජයග්‍රහණ වෙනුවෙන් තමන්ට මෙවැනි නිර්මාණ කළ යුතුව තිබූ බව ඔහුගේ සටහන් වල දැක්වෙනවා.

ඩාවින්චි කුරුල්ලන් වෙනුවෙන් ඉතාමත් ලැදි බවක් දැක්වූ අයෙක්. කුරුල්ලන් අධ්‍යනය, ඔවුන් යොදා කටු සටහන් නිර්මාණය හා ඔවුන් යොදා ගෙන නව නිර්මාණ කිරීමට ඩාවින්චි දැඩි ඇල්මක් දැක්වුවා. එම කටයුතු වල ප්‍රතිඵලයක් විදියට මේ  ඔර්නිතොප්ටරය නිර්මාණය වුණා. ඩාවින්චි න්‍යාත්මක අනුමත  කර පෙන්නුවා මිනිසුන්ටත් කුරුල්ලන් මෙන්ම ඉහළට යාමට හැකියාවක් ඇති බව. ඔර්නිතොප්ටරය නිර්මාණය වන්නේ මිනිසුන්ට බිමක සිට ඉහලට යාමේ අදහස පදනම් කර ගනිමිනුයි. ඩාවින්සිගේ සටහන් වල මෙය දැක්වෙන්නේ කුරුල්ලෙකුට එහෙම නැත්නම් වවුලෙකුට සමාන ලෙසයි. එහි පියාපත් පැතලි එල්ලෙන දෙයක් ලෙස දැක ගැනීමේ හැකියාවක් පවතිනවා. මෙම නිර්මාණය ඔහුගේ වායු ගතික නිර්මාණ ගෙන ඇති අවබෝධය මනාවට පෙන්නුම් කරනු ලබනවා. ඒ වගේම මේ නිර්මාණය සැබවින්ම ගුවන් ගත කල හැකි බව නවීන විද්‍යාව පවා සනාථ කරනවා. පැරෂුට් එක සහ මෙය සටහන් පොත් වල ඇති ඔහුගේ එකම ගුවනින් ගමන් කළ හැකි යන්ත්‍ර දෙක වනවා.

ශරීරයක් පොලවට පතිතවීම කරුණු දෙකක් මත රඳා පවතිනවා. ශරීරය මත ගුරුත්වය මගින් ඇති කරනු ලබන බලය හා වායුගෝලය මගින් ශරීරය මත ඇති කරන ප්‍රතිරෝධය යනු ඒ කාරණා දෙකයි. වායුගෝලය යනුවෙන් යමක් නොමැති වුවහොත් උඩින් වැටෙන වස්තුව ඉතාමත්ම වේගයෙන් යම් පෘෂ්ඨයක් මත ගැටෙන තුරු පතිත වීමක් සිදු වෙනවා. නමුත් වායුගෝලය එම ක්‍රියාවලිය ප්‍රමාද කිරීමට දායක වෙනවා. එය පර්යන්ත ප්‍රවේගය හෙවත් terminal velocity ලෙස හඳුන්වනු ලබනවා. විවිධ වස්තු විවිධ වූ ප්‍රවේගයන්ගෙන් යුක්ත වෙනවා. පැරෂුටයෙදී සිදුවන්නේ අදාල වස්තුව වැටෙන ප්‍රවේගය අවම කර නිරුප්‍රදිතව පොළොවට ළඟා කිරීමයි. ඩාවින්චි කියන්නේ පුද්ගලයන්ගේ පියාබිම ගෙන වශී වී සිටි නිර්මාණ ශිල්පියෙක් ඒ නිසා වාතය හරහා මිනිසුන්ට සුන්දර ලෙස ගමන් කිරීමට හැකියාව ලබා දීම වෙනුවෙන් මේ අදහස ඔහුගේ සිත තුළ ගැබ් ගෙන තිබෙනවා. මුල්ම පැරෂුටය පිරිමිඩාකාර සැකිල්ලක් රෙදි කැබැල්ලකින් ආවරණය කළ උපකරණයක් වුණා. ඩාවින්චි  ඔහුගේ සටහන් පොතේ මෙහෙම සටහනක් යොදා තිබුණා. ”එය මනුෂ්‍යාට ඕනෑම උසකින් සිට නිරුපද්‍රිතව පොළොවට පතිත වීමට උපකාරී වනු ඇත” යනුවෙනුයි.

බෝල බෙයාරින් බැලූ බැල්මට එතරම් වැදගත් යැයි නොහැඟුත් එය මත පදනම්ව අද බොහෝ නිර්මාණ සිදුවෙනවා. කර්මාන්තශාලා වලට බොහෝ විට යොදා ගනු ලබන මෙය ඝර්ෂණය අවම කිරීමට යොදා ගනු ලබනවා. මෙය රෝමානු අධිරාජ්‍ය කාලය තෙක් දිවයන කරුණක් වුවත් මෙහි පළමු ප්‍රායෝගික සටහන ඉදිරිපත් කළේ ඩාවින්චි බවට ඉතිහාසඥයන් සදහන් මත පළ කරන්නේ ඔහුගේ නිර්මාණ සටහන් වලට අනුවයි. ඩාවින්සිගේ බොහෝ සටහන් ඔහු නොමැතිව ක්‍රියාත්මක කළ නොහැකි බවයි පැවසෙන්නේ. එම නිසා මේ බෝල බෙයාරින් පිටුපස ඔහු දන්නා යමෙකු සිටිය හැකි බව ඔවුන් මත පළ කරනවා.

මේ අනුව අද අපි භාවිතා කරන භාණ්ඩ වල මුල් නිර්මාණ ශිල්පියා අපි කවදාවත් නොහිතපු කෙනෙක් වෙන්නත් පුළුවන් නේද? ඔයාලත් දන්න ඩාවින්චිගේ සැඟවුණු රහස් අපිත් එක්ක බෙදා ගන්න අමතක කරන්න නම් එපා .



More News »