පල්ලියේ උදහසට ලක්වූ ශ්‍රේෂ්ඨ විද්‍යාඥයා – ගැලීලියෝ ගැලීලි

2017-10-02 11:12:00       26
feature-top
තම පර්යේෂණ මගින් සනාථ කරගත් විද්‍යාත්මක කරුණු හා තම ශාස්ත්‍රීය ග්‍රන්ථ මගින් ලෝකයේ අවිද්‍යාව දුරලීමට කටයුතු කිරීම හේතුවෙන් දෙවියන්ට හා දේව ධර්මයට එරෙහි වූවායැයි පල්ලියෙන් ප්‍රබල ලෙස ගර්හාවට ලක් වූ ලොව ශ්‍රේෂ්ඨතම විද්‍යාඥයා හෙවත් නූතන භෞතික විද්‍යාවේ පියා පිළිබඳවයි අද ලිපිය ඉදිරිපත් කරන්නට සැරසෙන්නේ.

ආර්ථික ප්‍රශ්න පසෙකලා නොපසුබට උත්සාහයෙන් තම පර්යේෂණ කටයුතුවල යෙදුනු, නව සොයාගැනීම් මගින් ලෝකයේ ඉදිරි ගමනට අනගි මෙහෙයක් ඉටුකළ, කොපර්නිකස් විසින් හඳුන්වා දුන් සූර්ය කේන්ද්‍රවාදය තවදුරත් තහවුරු කරමින් නූතන විද්‍යාවේ ප්‍රගමනය උදෙසා ග්‍රන්ථ රචනා කළ ඔහු භෞතික විද්‍යාවටත් තාරකා විද්‍යාවටත් කළ මෙහෙය අති විශිෂ්ටයි. තම සොයාගැනීම් වලට ලැබිය යුතු ගෞරව බුහුමන් වෙනුවට පල්ලියේ දඬුවම් විඳ දරා ගැනීමට සිදු වූ ඔහු අපි කවුරුත් හොඳින් අසා තිබෙන ගැලීලියෝ ගැලීලි නම් ශ්‍රේෂ්ඨ බුද්ධිමතායි.

ක්‍රි.ව. 1564 පෙබරවාරි 15 වැනිදා ඉතාලියේ පීසා හි ටස්කන් ග්‍රාමයේ දරුවන් හය දෙනෙක්ගෙන් යුත් පවුලක පළමුවෙනියා ලෙස උපත ලබන ගැලීලියෝගේ පියා වූයේ එවකට දක්ෂ සංගීතඥයෙකු මෙන්ම ගණිතඥයෙකු ලෙස ප්‍රදේශයේ ප්‍රකටව සිටි වින්සෙන්ෂෝ ගැලීලියි. මව වූයේ ජුලා සම්මානතා නම් කාන්තාවක්.

වර්ෂ 1574දී, එනම් ගැලීලියෝට වසර 10ක් සම්පුර්ණ වන විට ඔවුන් පදිංචිය සඳහා ෆ්ලෝරන්ස් නගරය තෝරා ගන්නවා. ෆ්ලොරන්ස් නගරයේ පාසලකට ඇතුල් වන ඔහු පසුව තම උසස් අධ්‍යාපනය සඳහා වයස අවුරුදු 17 වන විට පීසා සරසවියට ඇතුල් වෙනවා. එහිදී මූලික විෂයයන් ලෙස දර්ශන ශාස්ත්‍රය හා වෛද්‍ය විද්‍යාව හැදෑරු ගැලීලියෝ කා අතරත් ප්‍රසිද්ධ වන්නේ නොබියව තම නිදහස් අදහස් පළ කරන්නෙක් ලෙසයි. කෙසේ නමුත් නිසි වෙලාවට ගාස්තු ගෙවීමට ගැලීලියෝගේ පියාට නොහැකි වීමෙන් පීසා සරසවියට ආයුබෝවන් කීමට තරුණ ගැලීලියෝට සිදු වෙනවා.

1585දී සරසවියෙන් සමුගැනීමට සිදු වූවත් ඔහු තම ප්‍රියතම විෂය වන ගණිතය ප්‍රගුණ කිරීම නවතා දමන්නේ නෑ. පොත පත ඇසුරෙන් හා ඔස්රිලියෝ නම් දක්ෂ ගණිතඥගේ මගපෙන්වීමෙන් ගණිතය විෂයය අති සාර්ථක ලෙස හදාරන ගැලීලියෝ මේ කාලවකවානුවේදී තම ප්‍රථම ග්‍රන්ථය රචනා කරනවා. “චලන රීතිය”( The little balance) නම් වූ එම කෘතිය ඉතාලිය පුරා සිටි බුද්ධි ගවේෂකයන් අතර වඩාත් ජනප්‍රියත්වයට පත්වෙනවා. මේ අතර ඔහු තම පවුලේ වගකීම්ද නොපිරිහෙලා ඉටු කරන්නේ සිසුන් පිරිසකට ගණිතය විෂය ඉගැන්වීමෙන් ලද සුළු මුදලෙන්.

පීසා හි දෙව් මැදුරේ සිදුකළ නිරීක්ෂණයක් ඇසුරු කරගෙනයි ඔහුගේ පළමු සොයා ගැනීම සිදු වන්නේ. දෙව් මැදුරේ මධ්‍යයේ එල්ලා ඇති පහන දෙපැත්තට පැද්දීමට ගතවන කාලය තම නාඩි ස්පන්ධන වේගය ඇසුරෙන් මැන බලන ගැලීලියෝ පහන සම්පුර්ණ වාරයක් පැද්දීමට ගතවන කාලය සෑම විටම සමාන බව සොයා ගන්නවා. මෙම නිරීක්ෂණය පදනම් කරගනිමින් ලම්බකයක් එක පැත්තක සිට අනෙක් පැත්තට පැමිණීමට ගතවන කාලය සඳහා හේතු වන්නේ වස්තුව පැද්දෙන දුර ප්‍රමාණය නොව ලම්බකයේ දිග ප්‍රමාණය පමණක් බව ඔහු විසින් පෙන්වා දෙනවා. මේ අතරවාරයේ ඔහුට පීසා හි විශ්ව විද්‍යාලයේම ගණිතය පිළිබඳව කථිකාචාර්ය තනතුරක් ලැබෙනවා.

1859 වසරේදී රාත්තල් 10ක් බරැති යකඩ ගෝලයක් හා රාත්තලක් බරැති යකඩ ගෝලයක් පීසාහි ඇලවෙන කුලුනේ සිට එකවර බිමට හෙලන අතර එම වස්තූන් එකවර බිමට පතිත වීම ඔහු විසින් නිරීක්ෂණය කරනවා. එම නිරීක්ෂණය තුළින් ගැලීලියෝ “බරින් වැඩි වස්තූන් සැහැල්ලු වස්තු වලට වඩා වේගයෙන් පහළට වැටේ”යැයි යන ඇරිස්ටෝටල්ගේ මතය බිඳ හෙළීමට සමත් වෙනවා.

වඩාත් සාර්ථක දුරේක්ෂයක් මුලින්ම නිර්මාණය කරන්නේ ගැලීලියෝ ගැලීලි විසින්. ඒ 1609 වසරේ ඕලන්ද ජාතික සැවාරිස් ජාන්සෙන් නිර්මාණය කළ දුරදක්නයේ තොරතුරු දැන ගැනීමෙන් අනතුරුවයි. ඒ අනුව වඩාත් බලවත් හා වඩාත් විද්‍යාත්මක දුරදක්නයක් නිපදවීමට ගැලීලියෝට හැකියාව ලැබෙනවා. මෙම කාලය වන තුරුත් විද්‍යාඥයන් විසින් සඳ සමතල පෘෂ්ඨයකින් යුක්ත බව උපකල්පනය කර තිබුණා. නමුත් ගැලීලියෝ විසින් සඳේ කඳු හා ගැඹුරු ආවාට බොහොමයක් පවතින බව අනාවරණය කරන්නේ පළමු වතාවටයි.

බ්‍රහස්පති ග්‍රහයා සතු විශාලම උපග්‍රහයන් හතරදෙනා ලොවට අනාවරණය කරන ඔහු ඒවා එවකට ඉතාලියේ රජ පවුලේ සොයුරන් සිව් දෙනාගේ නම් වලින් නම් කරනු ලබන අතර ඒවා පොදුවේ මෙසිඩි තරු ලෙස හදුන්වනවා. පසු කාලයේදී එම උපග්‍රහයන් ආයෝ, යුරෝපා, ගැනිමීඩියා හා කැලිස්ටෝ ලෙස නම් කරනු ලබන අතර පොදුවේ ගැලීලියන් චන්ද්‍රයන් ලෙස හදුන්වනු ලබනවා.

වසර 1610දී ඔහුගේ මෙම සොයා ගැනීම් පිළිබඳව තොරතුරු the Starry Messenger සඟරාවේ පළවෙන අතර මේ හේතුවෙන් ඔහුට රාජ අනුග්‍රහය පවා ලැබෙනවා. එම හේතුවෙන් ඔහුව රජ මැදුරේ ගණිතඥයා ලෙස හඳුන්වනවා.

1610 වසරේදීම ඔහු විසින් සෙනසුරු ග්‍රහයා සතුව දර්ශනීය වළලු කිහිපයක් පවතින බව සොයා ගත් අතර සූර්ය ලප (Phases) පිළිබඳවද තොරතුරු ලොවට අනාවරණය කරනවා.

ග්‍රන්ථකරණය පිළිබඳව විශේෂ ඇල්මක් දැක්වූ ගැලීලියෝ 1610 වසරේදී චන්ද්‍රයාගේ මතුපිට පිළිබඳවත්,බ්‍රහස්පති හා එහි ප්‍රධාන චන්ද්‍රයන් පිළිබඳව මෙන්ම සෞරග්‍රහ මණ්ඩලයේ මන්දාකිණි පිළිබඳව තොරතුරු අඩංගු සිඩේරියස් නන්සියස් (Sidereus Nuncius) නමින් කෘතියක් එළි දක්වනවා.

1623 වසරේදී ඉතාලියේ එවකට සිටි පාප් වහන්සේ වූ අටවැනි අර්බත් සමඟ කොර්පනිකස් විසින් ඉදිරිපත් කළ සූර්ය කේන්ද්‍රවාදය (සූර්යා වටා පෘථිවිය පරිභ්‍රමණය වීම) පිළිබඳව පල්ලියේ අදහස විමසනු ලබනවා. (එකල පල්ලියේ අදහස වුයේ පෘතුවිය වටා සූර්යා පරිභ්‍රමණය වන බවයි). පල්ලියේ යෝජනාව වන්නේ සූර්ය කේන්ද්‍රවාදය ඉගැන්වීමට ගැලීලියෝට අවසර නොමැති බවත් අවශ්‍යනම් එය සංවාද ස්වරූපයෙන් ඉදිරිපත් කළ හැකි බවත්ය. ඔහු ග්‍රන්ථයක් රචනා කරන්නේනම් එහි “දෙවියන්ගේ ප්‍රඥාවට අන් කිසිවක් සම කළ නොහැක” ලෙස අන්තර්ගත විය යුතු බව පාප්තුමා විසින් පවසනවා.

ඊට එකඟ වෙන ගැලීලියෝ 1632 වසරේදී පුද්ගලයන් තිදෙනෙකුගේ සංවාද ස්වරූපයෙන් යුත් “Dialogue on the two chief world systems” යන කෘතිය නිර්මාණය කරනවා. ඔහුගේ තවත් කෘතියක් ලෙස වල්ගාතරු පිළිබඳව පර්යේෂණාත්මකව ලියූ the Assayer කෘතිය නම් කළ හැකියි. කොපර්නිකර්ස්ගේ සූර්ය කේන්ද්‍රවාදය තහවුරු කරන්නට මෙහිදී ගැලීලියෝ විසින් උත්සාහ කර තිබෙනවා. Two News Scinence ඔහුගේ තවත් කෘතියකි. චලිත ගුරුත්වාකර්ෂණය පිළිබඳව නියමයන් සම්පාදනය කිරීම සඳහා මෙම කෘතිය අයිසැක් නිව්ටන් හට විශාල පිටුවහලක් ලැබුණු බව සඳහන් වෙනවා.

ගැලීලියෝ විසින් ලියන ලද “Dialogue on the two chief world systems” යන කෘතියේ දෙවියන් වහන්සේගේ ප්‍රඥාව අන් කිසිවෙකුටත් සම කළ නොහැක යන බව ඉතා හාස්‍යජනක ලෙස නිරූපණය කිරීම හේතුවෙන් එය කියවූ අර්බත් පාප්තුමා විසින් ගැලීලියෝව දේව ධර්මාධිකරණයට කැදවනවා.

වතිකානුවේ පාප් වහන්සේ හා තවත් කාදිනල්වරු දසදෙනෙක් ඇතුළු ආගමික බලධාරීන් රැසක් විසින් දැඩි චෝදනා ගැලීලියෝ වෙතට එල්ල කරන අතර තවදුරටත් ඔහුට පොත් ලිවීම තහනම් කරමින් නියෝගයක් නිකුත් කරනවා. මෙම වරදට ඔහුව නිවාස අඩස්සියේ රදවා තබන අතර ආගමික සභාවක් ඉදිරියේ සූර්ය කේන්ද්‍රවාදය වැරදි බවට ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළ යුතුයැයි දේව ධර්මාධිකරණය තීරණය කරනවා. දැඩි බලපෑම් මත තම හෘද සාක්ෂියට එරෙහිව එසේ ප්‍රකාශ කිරීමට මෙම අසාහය විද්‍යාඥයාට සිදු වෙනවා.

තම සොයාගැනීම් වෙනුවෙන් සිව් වරක්ම නිවාස අඩස්සියට පත්වෙන ගැලීලියෝ 1638 වන විට සම්පුර්ණයෙන් අන්ධභාවයට ලක් වෙනවා. දුරේක්ෂ වලින් නිතර ආකාශ වස්තු පරික්ෂා කරමින් ඉතා වෙහෙසකර ලෙස දෑසට පිඩා දීමත්, රාත්‍රී ගණනාවක් පුරාවට නිදි වරමින් තම ලේඛන කටයුතු වල නියැලීමත් මෙයට හේතු වී තිබේ.

මෙලෙස තමා සොයාගත් සත්‍ය වෙනුවෙන් පීඩා විඳි ගැලීලියෝ 1642 වසරේ ජනවාරි 8 වනදා ෆ්ලොරන්ස් නුවරට අාසන්න ප්‍රදේශයකදී අවසන් හුස්ම හෙළනවා. නමුත් ගැලීලියෝට වූ අසාධාරණය වෙනුවෙන් පල්ලිය වෙනුවෙන් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලන්නේ 1992 තරම් මෑත කාලයේදී දෙවැනි ජුවාන් පාවුළු පාප් වහන්සේ විසිනුයි.


More News »