ජීවිතය ඇති තාක් බලාපොරොත්තු පවතී – ස්ටීවන් හෝකින්

2017-10-18 10:26:00       25
feature-top
කළු කුහර, විශ්වයේ සම්භවය, එහි ආරම්භය, ව්‍යුහය, කාලය සහ අවකාශය අතර සම්බන්ධතාවය වගේ වචන ඇහෙද්දි නිසඟයෙන්ම මතකයට නැගෙන චරිතය තමයි බ්‍රිතාන්‍ය ජාතික භෞතික විද්‍යාඥයකු සහ ගණිතඥයකු වන ස්ටීවන් හෝකින්. ඔහුගේ ජීවිතය අලලා සැකසුණු “The Theory of Everything” චිත්‍රපටය ඔබ නරඹා ඇති. ස්ටීවන් හෝකින් ගැන තොරතුරු දැනගන්න කැමති ඔබට මේ ලිපිය වැදගත් වේවි.

1942 ජනවාරි 08 වැනිදා එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් හිදී ස්ටීවන් විලියම් හෝකින් උපත ලැබුවා. මොහුගේ දෙමව්පියන් ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලැබූවන්. ස්ටීවන්ට සොහොයුරියන් දෙදෙනෙක් සහ අරන් හදාගත් සොහොයුරෙක් සිටියා. ඖෂධ පිළිබඳ ගවේශකයෙක් වූ ඔහුගේ පියා තම පුතු කෙදිනක හෝ වෛද්‍ය ක්ෂේත්‍රයේ රැකියාවක් කරනවාට වැඩි කැමැත්තක් දැක්වූවා. ඒත් ස්ටීවන් කැමති වුණේ ගණිතය සහ භෞතික විද්‍යාව හදාරන්නට යි.

ස්ටීවන් ඉගෙනුම ලැබූ ශාන්ත අල්බන් පාසලේදී ඔහු කැපී පෙනෙන දක්ෂතා පෙන්වූයේ නැහැ. බොහෝ විට ලකුණු මට්ටමින් පන්තියේ අවසන් ළමුන් තිදෙනා අතර තමයි ඔහු රැඳුණේ. වයස අවුරුදු 17 දී ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයට ඇතුලත්වූ ස්ටීවන් ඉක්මණින් විෂය කරුණු අවබෝධ කරගැනීමේ හැකියාවක් දැක්වූ නිසා ඔහුට දැඩි වෙහෙස මහන්සියෙන් අධ්‍යාපන කටයුතු වල යෙදෙන්න අවශ්‍ය වුණේ නැහැ. මේ නිසා ඉතා අඩුවෙන් අභ්‍යාස කරන බොහොම සමාජශීලි චරිතයක් විදියට ස්ටීවන් සමකාලීනයන් අතර ප්‍රසිද්ධ වුණා. ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේදී දේශන හැරුණු කොට තනිව කරන අධ්‍යයන කටයුතු සඳහා ඔහු වැය කළේ පැයක් වැනි ඉතා කෙටි කාලයක්.සරසවියේදි භෞතික විද්‍යාව පිළිබඳව මහත් උනන්දුවක් දැක්වූ ස්ටීවන් 1962දි ප්‍රථම පන්තියේ ගෞරව උපාධියක් ලබා ගන්නවා. ඒ සමඟම ඔහු කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධිය හැදෑරීම ආරම්භ කරනවා. කේම්බ්‍රිජ්හි අධ්‍යයන කටයුතු කිරීමට ගත් තීරණය ඔහුගේ ජීවිතයේ හැරවුම් ලක්ෂයක්වූ අතර විශ්වයේ සම්භවය පිළිබඳ හැදෑරීම් නව මානයකට ගෙන එන්නට එය උපකාර වුණා.

පළමු වතාවට ස්ටීවන්ට පය පැකිලී ඇද වැටීම, සමබරතාවය ගිලිහීම, කතා කිරීමේදි වචන පැටලැවීම වැනි ශාරීරික අපහසුතා ඇති වෙන්න පටන් ගත්තේ ඔහු ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ සිටියදී යි. ස්ටීවන් මේ පිළිබඳව එතරම් තැකීමක් නොකළ අතර කිසිවෙකුට පැවසුවේවත් නැහැ. 1963 කේම්බ්‍රිජ් සරසවියේදි මේ තත්ත්වය ටිකක් නරක අතට හැරුණා. ඒත් දිගටම නිහඬ පිළිවෙතක් අනුගමනය කළ ස්ටීවන් තමන්ට දරුණු රෝගයක් ඇතැයි සිතන්නට නැතුව ඇති. ඔහුගේ පියාට, තම පුතුගේ වෙනසක් දකින්නට ලැබුණු නිසා ස්ටීවන්ව වෛද්‍යවරයෙක් වෙත යොමු කරන්නට කටයුතු කළා.

“ඔවුන් මගේ අතෙන් පේෂි සාම්පලයක් ගත්තා. ශරීරයට ඉලෙක්ට්‍රෝඩ සම්බන්ධ කරලා පාරාන්ධ තරලයක් පිටකොන්දට එන්නත් කළා. දිගටම ඉහළ පහළ ගමන් කරන එක්ස් රේ සටහන් නිරීක්ෂණය කරමින් සිටියත් ශරීරයේ පටක ඝණවී ඇති බව හැර නිශ්චිත රෝගයක් ගැන මට කිසිවක් පැවසුවේ නැහැ.”

කෙසේ හෝ අවසානයේදී වෛද්‍යවරු ස්ටීවන් ගේ පියාට රෝගය හෙළි කළා. ඒ, විසිඑක් හැවිරිදි ඔහු Amyotrophic lateral sclerosis (ALS) හෙවත් Lou Gehrig’s disease නම් මාංශ පේශි වල චලනයට උපකාර වන මොළයේ සෛල මිය යමින් පවතින රෝගයක මුල් අවස්ථාවේ පසුවන බව යි. ක්‍රම ක්‍රමයෙන් මේ තත්ත්වය උත්සන්න වන බවත් මේ හේතුවෙන් පේශි විනාශ වෙන බවත් ස්ටීවන්ට ජීවත් විය හැක්කේ තවත් වසර දෙක හමාරක් පමණ කාලයක් පමණක් බවත් ඔවුන් කියා සිටියා. මෙය ස්ටීවන්ගේ පවුලේ අයට මහත් කම්පනයක් ගෙන දුන්නා.

මුලදී බලාපොරොත්තු සියල්ල අතහැර සිටි නමුත් සැබෑවට ම ස්ටීවන්ට සිහිනයක් තිබුණා. මේ සිහිනය වෙනුවෙන් කටයුතු කිරීමට ඔහු නව බලාපොරොත්තුවක් ඇති කර ගත්තා. තවමත් ජීවිතය තුළ කළ යුතු කාර්යයන් රැසක් ඇති බව ඔහු තදින් විශ්වාස කළා.

ස්ටීවන් තම රෝගය ගැන දැන ගැනීමට පෙර, 1963 වසරේදී උත්සවයකදී මුණ ගැසුණු තරුණියක් සමඟ ප්‍රේමයෙන් බැඳී සිටියා. භාෂාවන් පිළිබඳ උපාධියක් හදාරමින් සිටි ඇය ජේන් වයිල්ඩ් නම් වූවා. ස්ටීවන්ගේ දරුණු රෝගය ගැනත්, ඔහුට ජීවත් වීමට ඇති කාලය ඉතා සීමිත බවත් දැන දැන ම ඇය 1965දී ස්ටීවන් සමඟ විවාහ වෙනවා. ජේන් ඇයගේ සිහින සහ බලාපොරොත්තු පසෙක ලා ඔහුගේ ජීවිතයේ සුබ සිද්ධිය උදෙසා කැපවෙමින් දරුවන්ගේත්, නිවසේත් වැඩ කටයුතු කරනවා. සැබැවින් ම ඔහුගේ ජීවිතයේ නොසැලෙන ශක්තිය, සෙවනැල්ල වන්නේ ඇය යි. ඇය නොසිටින්නට ස්ටීවන් ලොවට දායාද කළ නව සංකල්ප සහ සොයාගැනීම් සිහිනයක් ම වන්නට ඉඩ තිබුණා.

ඔවුන්ගේ පළමු දරුවා රොබට් 1967දීත් දෙවැන්නා ලුසී 1969දීත් උපත ලබනවා. ඇගේ උපතින් අවුරුදු දහයකට පසුව තිමොති, ඔවුන්ගේ තෙවැනි දරුවාත් උපදිනවා. 1990දී ජේන් තවදුරටත් ඔහු වෙනුවෙන් ඇගේ ජීවිතය කැප කළ යුතු නැති බව තීරණය කරන ස්ටීවන් ඇගෙන් වෙන්වන අතර උපස්ථාන කිරීමට පැමිණි එලියන් මේසන් සමඟ 1995 දී විවාහ ‍වෙනවා. නමුත් එලියන් දිගටම ස්ටීවන් හා රැඳෙන්නේ නැහැ. 2006දී ඔවුන්ගේ විවාහය කෙළවර වෙනවා. මේ වනවිට ස්ටීවන්ගේ රෝගය නිසා මහත් අපහසුතා සහ කරදර වලට මුහුණ දුන් ජේන් ඇයට උපකාර කළ සංගීත ගුරුවරයෙකු වන ජොනතන් හෙල්යර් සමඟ විවාහ වී සිටිනවා.

ALS රෝගයෙන් පෙලෙන බව හඳුනාගන්නට පෙර ස්ටීවන් ඔහු ගේ පර්යේෂණ සඳහා එතරම් යොමු වී සිටියේ නැහැ. ජීවත් වීමට ඉතිරිව ඇති කෙටි කාලය තුළ කෙසේ හෝ අධ්‍යයන කටයුතු සම්පූර්ණ කිරීමට ඔහුට අවශ්‍ය වුණා.

“මේ ලෙඩේ හඳුනාගන්න කලින් මට මගේ ජීවිතය ඒකාකාරී වෙලා තමයි තිබුණේ. කරන්න කිසිම වටිනා දෙයක් තිබුණේ නැති තරම්.” ඔහු පවසනවා.

විශ්වය පිළිබඳ පර්යේෂණ කළ තවත් තරුණ විද්‍යාඥයකු වන රොජර් පෙන්රෝස් ගේ සොයාගැනීම් ඔස්සේ අධ්‍යයන කටයුතු මෙහෙයවූ ස්ටීවන් විශ්වයේ ආරම්භය, තාරකාවක අවසානය සහ කළු කුහර නිර්මාණය ගැන සංකල්ප ඉදිරිපත් කළා. මේ අතර ටිකෙන් ටික ඔහුගේ සෞඛ්‍ය තත්ත්වයත් අයහපත් අතට හැරුණා. 1969දි ස්ටීවන්ට රෝද පුටුවක් භාවිතා කරන ලෙස වෛද්‍ය උපදෙස් ලැබුණ අතර 1973 දී ස්ටීවන්ගේ පළමු පොත වන The Large Scale Structure of Space-Time ප්‍රකාශයට පත් කරනවා. 1974දී කළු කුහර ගැන ඔහුගේ සොයාගැනීම් ඉදිරිපත් කළ පසු ස්ටීවන් විද්‍යා ලෝකය තුළ කීර්තිමත් තැනැත්තෙක් බවට පත් වෙනවා. මුලින් විශ්වාස කළ පරිදි කළු කුහර තුළ පවතින්නේ රික්තකයක් නොවන බවත්, තාරකාවක් පිපිරීමේදී ගුරුත්වාකර්ෂණ බලයෙන් මිදී යෑමේ හැකියාවක් ඇති බවත් ඔහු ඔප්පු කර පෙන්වූවා.


1970 වන විට ස්ටීවන්ට තනිවම ආහාර ගැනීම, ඇඳෙන් බැසීම වැනි කාර්යයන් කර ගැනීමට හැකියාව තිබුණත් කතා කරන විට වචන අපැහැදිලි වීම උත්සන්න වී තිබුණා. ඒ නිසා සමීපතමයන්ට විතරයි ඔහු කියන දේවල් අවබෝධ කරගන්නට පුළුවන් වුණේ. 1985දී නිව්මෝනියාව වැළඳී ඉතා අසාධ්‍ය තත්ත්වයක සිටි ස්ටීවන් ජීවත් වේ යැයි කියා වෛද්‍යවරු විශ්වාස කළේ නැහැ. එහිදී සැත්කමක් මඟින් ශ්වාසනාල ද්වාරය ඉවත් කිරීමට සිදු වීම නිසා සදාකාලිකව ස්ටීවන්ට ඔහුගේ කටහඬ අහිමි වුණා.

ස්ටීවන්ට ඉදිරි වැඩ කටයුතු කරගෙන යාමට මෙය විශාල බාධාවක් වෙනවා. පරිගණක වැඩසටහන් නිර්මාණ ශිල්පියෙක් නිපදවූ උපකරණයක් ගැන ස්ටීවන්ගේ සමීපතමයන්ට ආරංචි වෙන්නේ මේ අතරවාරයේදී යි. ඇඟිලි වලින් බොත්තම් එබීමෙන් පරිගණක තිරයකට වචන තෝරා දී අදහස් ප්‍රකාශ කරන්නට හැකි ලෙස මෙය සකසා තිබුණා. තිරයේ සටහන් වන වචන, හඬ වශයෙන් ඇසීම මෙහිදී සිදු වෙනවා. ඔහුගේ ගමන්මඟේ සංධිස්ථානයක් වන “A Brief History of Time” කෘතිය ලියැවෙන්නේත් මේ කාලයේදී යි. දැනටත් විශ්වයේ සියළු දේ පිළිබඳව වූ සිද්ධාන්තයක් පිළිබඳ පර්යේෂණ කරමින් සිටින මේ අපූර්ව මිනිසා බ්‍රිතාන්‍ය මහ රැජිණගෙන් ලද නයිට් පදවියත් ප්‍රතික්ෂේප කළා.

වසර තුනකටත් වඩා අඩු කාලයක ජීවිත බලාපොරොත්තුවක් තිබූ ස්ටීවන් අදටත් ජීවත් වෙනවා. 2014 නොවැම්බර් මාසයේදී ස්ටීවන්ගේ සහ ජේන්ගේ කතාව The theory of everything චිත්‍රපටය හරහා තිරගත වුණා. Eddie Redmayne ස්ටීවන්ගේ චරිතයට පණ පොවන අතර ජේන්ගේ චරිතය Felicity Jones විසින් රඟ දක්වනවා. මෙහි ඔහුගේ පාසල් කාලය, විවාහය, රෝග තත්ත්වය සහ විද්‍යාත්මක සොයාගැනීම් ඇතුළත් වෙනවා. මෙහි රංගනය වෙනුවෙන් Eddie 2015දී හොඳම නළුවාට හිමි ඔස්කාර් සම්මානය දිනා ගත්තා.

“විශ්වයට සීමාවක් නැහැ. ඒ ආකාරයට ම මිනිසුන්ගේ උත්සාහයත් සීමා රහිත විය යුතුයි. තත්ත්වය කොයි තරම් අයහපත් වුණත් බලාපොරොත්තු ඉටු කරගන්න කුමක් හෝ මාර්ගයක් තිබෙනවා. ජීවිතය ඇති තාක් බලාපොරොත්තු පවතිනවා.” ස්ටීවන් පවසනවා.


(under the courtesy of roar.media web)

More News »