මුදලට හා ප්‍රසිද්ධියට ගිජු නොවූ රුසියන් මහ ගත්කරු – ලියෝ තෝල්ස්‌තෝයි

2017-11-01 11:44:00       20
feature-top
රුසියානු සාහිත්‍යය ගැන කතාකරනවිට අපගේ මතකයට එන ප‍්‍රකට ලේඛකයින් කිහිප දෙනා අතර මහා ලේඛක ලියෝ ටෝල්ස්ටෝයිට මුල් තැනක් හිමිවෙනවා. ඒ “යුද්ධය සහ සාමය”, “ඇනා කැරනිනා” වැනි ලෝක ප්‍රසිද්ධ ග්‍රන්ථ හේතුවෙන්. ඉතින් ලියෝ තෝල්ස්තෝයිගේ ජිවිත කතාවේ පාඨකයා නොදත් අපූරු රසමුසු තැන් කිහිපයක් ගෙන ඒමයි මේ ලිපියේදී අපේ බලපොරුත්තුව වන්නේ.

ලියෝ තොල්ස්තෝයිගේ උපන් නම ලෙව් තෝල්ස්තෝයි වුණත්, රුසියාවෙන් පිටත ඔහු ප්‍රකට වුණේ ලියෝ තෝල්ස්තෝයි යන නමින්. ඒ හේතුව නිසා අප මෙම ලිපියේ ඔහු ලියෝ තෝල්ස්තෝයි නමින් හඳුන්වන බව සඳහන් කරන්න කැමතියි.

ප්‍රභූ මන්දිරයක උපත​ ලැබූ තෝල්ස්තෝයි

ලියෝ නිකොලායේවිච් තෝල්ස්තෝයි ඉපදෙන්නේ 1828 සැප්තැම්බර් 09 දා (මෙය පැරණි දින දසුනට අනුව අගෝස්තු 28 විය) රුසියාවේ දකුණු මොස්කව් හි ටුලා පළාතේ පිහිටි යස්නායා පොල්යානා (Yasnaya Polyana) නමැති ඔහුගේ දෙමව්පියන්ට අයත් වතුයායක පිහිටි මැදුරකයි. ලියෝ පවුලේ බාලයා වූ අතර ඔහුගේ මව සහ පියා වංශවත් සිටු පවුල්වලට අයත් වුණා. ලියෝගේ පියා ආදිපාදවරයෙකු ලෙස සේවය කළ අයෙකි. එකල සාම්ප‍්‍රදායික ප‍්‍රභූ පවුල්වල දරුවන් පාසල් නොගිය අතර ඒ වෙනුවට නිවසට ගුරුවරයෙකු ගෙන්වා උගන්වන ලදී. මේ අනුව ලියෝගේ පළමු ගුරුවරයා වූයේ කාල් ඉවානිච් නමැති නිවසට පැමිණ උගන්වන ජර්මන් ජාතික ගුරුවරයෙකි.

කුඩා කාලයේදීම මව හා පියා මරණයට පත් වීම හේතුවෙන් තොල්ස්තෝයිව හදා වඩා ගනු ලබන්නේ ඔහුගේ නැන්දණිය විසින්. එම නැන්දණියත් මරණයට පත් වීම හේතුවෙන් ඔහුට රැකවරණය ලබා දෙන්නේ ඔහුගේ අනෙක් නැන්දණිය විසින්. වයස අවුරුදු 17 දී ඔහු වැඩිදුර අධ්‍යාපන කටයුතු සඳහා රුසියාවේ කසාන් විශ්ව විද්‍යාලයට ඇතුළත් වූ නමුත් එහි ඉගෙනීම ඔහුට ප‍්‍රිය වන්නේ නෑ. 1847දී එය අතරමග නතර කර දමා ඔහු නැවත යස්නායා පොල්යානා මැදුර වෙත පැමිණ සිය වතු පිටි දේපළ පාලනය කරමින් කල් ගෙවන්නට වුණා. පසුව ඔහුගේ වැඩිමහල් සොයුරු නිකොල්ගේ උපදෙස් මත යුද්ධ හමුදාවට එක වෙන තෝල්ස්තෝයි ටික කලක් හමුදා සේවයේ යෙදෙනවා.

ලේඛණ දිවියට අත්පොත් තැබීම

1851 දී ඔහු පළමු වරට කුඩා කළ තම ආදරණියයන් අහිමිවීම අළලා “ළමා විය” නමින් ලිපි පෙළක් රුසියානු සඟරාවකට රචනා කරනවා. ඉන්පසු ඔහුගේ ලේඛන දිවිය ආරම්භ වූ අතර ඔහු නොකඩවා ප‍්‍රබන්ධ රචනා රචනාවට පෙළඹෙනවා.

ඔහුගේ ඊළඟ කෘතිය වූයේ විශ්ව සාහිත්‍යයයේ ප්‍රථම වරට සැබෑ යුද්ධය නිර්මාණාත්මකව ඉදිරිපත් කරන ලද සෙවස්තපෝල් කතාන්දර (Sevastopol Sketches) නම් කතා ත්‍රිත්වයයි. යුද්දය අවසන් වීමත් සමඟ හමුදාවෙන් ඉවත් වී තම වතු යායට පැමිණෙන 34 වියැති තෝල්ස්තෝයි සිය මනාලිය කර ගත්තේ තමන්ට වඩා වසර 16 කින් ළාබාල වූ 18 වියැති තරුණියක වූ සොෆයා ආන්ද්‍රියෙව්නාය (Sofya Andreyevna).

ලේඛණ කලාවේ ස්වර්ණමය යුගය

“The Year 1805” නමින් කොටස් වශයෙන් පළවූ කතාවක් 1865 වසරේ සිට රුසියානු සඟරාවකට සම්පාදනය කරන තෝල්ස්තෝයි ඒ හේතුවෙන් වඩා ජනප්‍රිය වෙනවා. මෙය පදනම් කරගෙන ගොඩ නැගෙන නව කතාවක් ලෙස​ 1869 වසරේදී යුද්ධය හා සාමය (War and Peace) නම් ලෝක පූජිත නවකතාව එළිදක්වනු ලබනවා. ඔහුගේ තවත් ලෝක ප්‍රසිද්ධ නවකතාවක් වන ඇනා කැරනිනා (Anna Karenina) කෘතිය රචනා කර එළිදක්වන්නට 1873 වසරේ සිට 1877 වසර දක්වා කාලයක් ගත වෙනවා. මේ නවකතා දෙක හේතුවෙන් තෝල්ස්තෝයිගේ කිර්ති නාමය මුළු ලෝකය පුරා පැතිරී යනවා.

කෘතහස්ත ලේඛකයෙක් ලෙස ජනප්‍රියත්වයට

පොත් විශාල සංඛ්‍යාවක් හා පුවත්පත්, සඟරා ලිපි අධික සංඛ්‍යාවක් යම් පුද්ගලයෙක් කියූ දේවල් හා ඔහුගේ අදහස්  පදනම් කරගෙන ලියැවී තිබීම ඉතා අරුම පුදුම කාරණයක් ලෙස ඔබ සිතනු නොඅනුමානයි. ඉතිහාසයේ එවැනි පුද්ගලයෙක් පිළිබඳව එසේ ලියැවී තිබෙනවා. ඒ පුද්ගලයා අන් කවරෙකුත් නොව ලියෝ තෝල්ස්තෝයි නම් ලෝකයේ ශ්‍රේෂ්ඨතම නවකතාකරුවා පිළිබඳවයි.

ඔහු මිය යන්නට වසර 20කට පමණ පෙර ජනප්‍රියත්වය ඔහු කරා කොතරම් වේගයෙන් පැමිණියාද යන්න පවසනවානම් ඔහුව දැක බලාගන්නට පැමිණි ජනකායෙන් දිවා කාලයේ ඔහුගේ නිවස පිරී පැවතුනා. පුවත්පත් වාර්තාකරුවන් විශාල ලෙස පැමිණිය අතර ඔවුන් තෝල්ස්තෝයිගේ ඉතා සාමාන්‍ය කතාබහ පවා ලඝු ලේඛන මාර්ගයෙන් සටහන් කරගන්නවා.

ගෙයින් ගෙට ගොස් පොත් විකිණීම

ලොව පුරා ජනප්‍රිය වූ ශ්‍රේෂ්ඨතම නවකතා දෙකක් වූ යුද්ධය හා සාමය, ඇනා කැරනිනා ලිවීම පිළිබඳව මුල් කාලයේදී ඔහු සතුටු වූවත් එම කෘති තුලින් තමන් අපේක්ෂා කල තරමට සාමය, දයාව හා දරිද්‍රතාව නිරූපණය කිරීමට බැරි වූ බවත් ඒ වෙනුවෙන් තමන් අසතුටු වන බවත් පසුව ප්‍රකාශ කරනවා. තවද ලෝක ප්‍රසිද්ධ කෘති හේතුවෙන් තමන්ට ලැබෙන සමාජ ප්‍රසංශා පිළිබඳව ඔහු මොහොතක්වත් සිතන්නේ නෑ.

පසුව ඔහුගේ ජීවිතයේ ඉතිරි කාලය කැප කරන්නේ සාමය, දයාව හා දරිද්‍රතාවය මුලිනුපුටා දැමීම පිළිබඳව දේශණ පැවැත්වීමටයි. මෙම දේශනා මුල් කරගෙන කුඩා පොත් (Booklet) වල ලාබ පිටපත් මුද්‍රණය කර, අනතුරුව ඒවා කරත්තවල පටවාගෙන ගෙයින් ගෙට ගොස් විකිනීම මේ ලෝක පූජිත කතුවරයා විසින් සිදු කරනු ලබනවා. වසර හතරක් සිදු කල මෙම ක්‍රියාවලියෙන් පිටපත් 12 000 000 ක් පමණ බෙදා හරිනු ලබනවා.

අවසන් සමයේ තෝල්ස්තෝයි මුහුණ දුන් ඛේදවාචකය

ජීවිතයේ අවසන් කාලය ඔහු ඉතාමත් සරළව ගත කල අතර තමන් විසින්ම මසා ගත් රළු ඇදුම් ඇඳ තම අතින්ම මසා ගත් සපත්තු පළදිනවා. ආවරණයක් රහිත ලී මේසයක ලී බදුනකයි ආහාර ගන්නේ.

ප්‍රසිද්ධිය, සමාජ ප්‍රසංශා පිළිබඳව මොහොතක්වත් නොසිතන ඔහු ඒවා හුදෙක් පුහු දේවල් යැයි කියමින් බැහැර කරනවා. ධනය හා පෞද්ගලික දේපොළ රැස් කරගැනීම මහත් පාපයක් ලෙසයි ඔහු දකින්නේ. නමුත් ඔහුගේ බිරිද ඊට සම්පුර්ණයෙන් වෙනස් වුණ බව සඳහන්. ඇය ධනයට බෙහෙවින් ගිජු වූ අතර නිතරම  සුඛෝපභෝගී දිවියක් ප්‍රිය කළ මාන්නාධික කාන්තාවක්.

තෝල්ස්තෝයිගේ දියණියක් විසින් ලියන ලද “තෝල්ස්තෝයිගේ ඛේදවාචකය” නම් පොතට අනුව ඔහුගේ පසු කාලීන​ දුක්මුසු ඉරණමට හේතු වන්නේ විවාහයයි. එම පොතට අනුව බිරිඳ විසින් ඔහුගේ මිත්‍ර ඇසුරට බාධා එල්ල කරන අතර ඔහු වඩාත් ආදරය කළ දියණියන්ගේ ජායාරූප වලට වායු රයිපලයකින් වෙඩි තැබීමටත් කටයුතු කරනවා. තමාට කතෘභාග නොලැබෙන සේ තම පොත් නොමිලයේ පළ කිරීමේ අයිතිය රුසියානු ජනතාවට ලබා දීමට බිරිද කිසිසේත්ම එකඟ වන්නේ නෑ. තමන්ට එකඟ නොවූවොත් අබිං බී හෝ ලිඳට පැන හෝ මරණයට පත්වෙන බව බිරිද විසින් වරින් වර තර්ජනාත්මකව ප්‍රකාශ කරනවා.

වයස අවුරුදු 82 වන විට මෙම තත්වය පිළිබඳව දැඩිව කලකිරෙන තෝල්ස්තෝයි 1910 ඔක්තෝම්බර් 21 වැනිදා නිවසෙන් පිට වී හිස හැරුණු අතේ ගමන් කරනවා. ඉන් දින කිහිපයකට පසු එනම් 1920 නොවැම්බර් 20 දා නිව්මෝනියාව හේතුවෙන් හුදෙකළා දුම්රිය නැවතුම්පොළක ඔහු මිය යන්නේ කවුරුත් නොමැති අසරණයෙකු ලෙසයි.

රුසියානු ලේඛක ලියෝ තෝල්ස්තෝයි ආගම්වාදියෙකු සහ දේවවාදියෙකු යැයි පසුව රුසියාව තුළ විවිධ මතවාද නිර්මාණය වූවත් සෝවියට් විප්ලවය මෙහෙයවූ වී.අයි. ලෙනින් පැවසූයේ තෝල්ස්තෝයි “රුසියාවේ කැඩපත” බවයි. ඒ අදාළ සමාජ, ආර්ථික, දේශපාලනික හා ආගමික පරිසරය නිසි අයුරින් ග්‍රහණය කර ගැනීමට තෝල්ස්තෝයි සමත්ව තිබූ බැවින්.

ඔහු රුසියානු සාහිත්‍යයට සිදු කළ විශිෂ්ඨ සේවය අගයා යස්නායා පොල්යානා මැදුර අද වන විට කෞතුකාගාරයක් බවට පත් කර තිබෙනවා. ඔහුගේ අගනා පුස්තකාලයද ඔහු ලියූ ලිපි ලේඛනද කෞතුක වස්තූන් ලෙස නැරඹීමට සංචාරකයන්ට හැකියාව ලැබී තිබෙනවා.


(under the courtesy of roar.media web)

More News »