පියානෝව නිසා නාසින්ගෙන් දිවි ගලවා ගත් යුදෙව්වා

2017-11-15 10:47:00       103
feature-top
ජර්මනියේ නාසිවාදය විසින් සිදු කළ දැවැන්ත ජනසංහාර පිලිබඳ බොහෝ කතා පුවත් අප අසා ඇත. ඒ සියල්ල ඉතා අමිහිරි මෙන්ම හද සසල කරනවන කතා පුවත්ය. ජාතිවාදයේ මිලේච්ඡ බවත් යුද්ධයේ කුරිරු බවත් අපට යලි යලි පෙන්වා දෙන මෙම කතා අතර මරණය අබියසටම ගොස් අහඹු ලෙස දිවි ගලවා ගැනීමට සමත් වූ කිහිප දෙනෙකුගේ කතා පුවත්ද අසන්නට ලැබේ. මෙහි කතා නායකයාද එසේ දිවි ගලවාගත් අයෙකි. ඔහු නමින් ව්ලඩිස්ලෝ ස්පිල්මන් (Władysław Szpilman)ය.

ළමා කාලය

ව්ලඩිස්ලෝ උපත ලබන්නේ 1911 දෙසැම්බර් මස 5 වනදා පෝලන්තයේ Sosnoweic නගරයේදීය. ඔහුගේ මව Edwarda Szpilman වූ අතර පියා Samuel Szpilman විය. පවුලේ සහෝදරයෙක් හා සහෝදරියන් දෙදෙනෙක් විය. සොහොයුරා Henryk වූ අතර Regina සහ Halina සොයුරියන් දෙදෙනා විය. ඔහු මුලින්ම පියානෝ වාදනය ඉගෙන ගැනීම සිදු කරන්නේ සිය මව සමගයි. එතැන් සිට පියානෝ වාදනයට ප්‍රිය වන ව්ලඩිස්ලෝ ඉදිරි අධ්‍යාපන කටයුතු සංගීතය ඔස්සේම සිදු කරනු ලබනවා. මීළගට ඔහු 1926-30 දක්වා වෝර්සෝ නගරයේ Frederick Chopin School of Music හිදී පියානෝ වාදනය ඉගෙන ගන්නා අතර ඉන් පසුව 1930-33 සමයේදී  බර්ලින්හි Akademie Der Kunste ආයතනයෙන් තවදුරටත් පියානෝ වාදනය සහ ශබ්ද සංකලනය පිළිබඳව අධ්‍යයනය කරනු ලබනවා.

තරුණ විය

තරුණ වියට එළඹෙන විට ඔහු ඉතා දක්ෂ පියානෝ වාදකයෙක්, සංගීත සංකලනකයෙක් හා ගීත රචකයෙක්ද විය. 1935 අප්‍රේල් මස පළමුවැනිදා ඔහු පෝලන්ත ජාතික ගුවන්විදුලියේ සේවයට එක් වූ අතර එතැන් සිට ඔහුට විවිධ තරාතිරමේ පුද්ගලයින් මුණ ගැසෙන අතර අනාගතයේ දිනක සිය ජිවිතයේ ඉරණම තීරණය කරන්නන්ද ඒ අතර සිටින බව ඔහුට සිහිනෙන් හෝ නොසිතන්නට ඇත.

පෝලන්ත ජාතික ගුවන්විදුලියේ ඔහු පියානෝ වාදකයෙක් ලෙස ශාස්ත්‍රීය සහ ජෑස්(Jazz) යන ශෛලින් දෙකෙන්ම සංගීත කටයුතු කරගෙන ගිය අතර ජර්මනිය පෝලන්තය යටත් කරගන්නා තෙක්ම ඔහු එහි සේවය කරන ලදී.

නාසීන් යටතේ

දෙවන මහා ලෝක සංග්‍රාමය අරඹමින් හිට්ලර් විසින් 1939 සැප්තැම්බර් මස පළමුවැනිදා පෝලන්තය ආක්‍රමණය කරන අතර පෝලන්ත හමුදා අන්ත පරාජයකට පත්කරමින් සති කිහිපයකින් පෝලන්තය යටත් කරගැනීමට ජර්මන් හමුදා සමත් වන අතර මේ සමග වෝර්සෝහි පෝලන්ත ජාතික ගුවන්විදුලියද තහනම් කරනු ලබනවා. ඉන් පසුව නාසිවාදය යටතේ එහි වෙසෙන යුදෙව් ජාතිකයන්ට විශේෂ නීති රීති පැනවීම අරඹන අතර 1940 ඔක්තෝබර් මස 31 දා වොර්සොහි සියලු යුදෙව්වන් ghetto නමින් හදුන්වන යුදෙව්වන් වෙනුවෙන් පමණක් වෙන් කළ කොටසක ගාල් කරනු ලබනවා.

ව්ලඩිස්ලෝ සහ පවුලේ සියලුදෙනාගේ මෙතැන් සිට කෙටි  කලකට නවාතැන වන්නේ මෙම ghettoව යි. මේ තුල මිනිසුන් කුසගින්නේ රෝගාබාධයන්ගෙන් පිඩා විඳින අයුරුත් මිය යන අයුරුත් දිනපතා සාමාන්‍ය සිදුවීම් බවට පත් වන්නට වූ බව සියලු දෙනාට දැකගත හැකි වුනා. යුදෙව්වන් පොදු සමාජයෙන් වෙන් කරමින් විවිධ අයුරින් හිංසාවට ලක් කිරීම හා ජර්මන් නිලධාරීන්ගේ සෙබළුන්ගේ හිතුමනාපයට ඝාතන සිදුකිරීමද ඉතා සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබුණා.

පියානෝ වාදනයේ දක්ෂයකු වූ නිසා ඔහුට ghettoහි අවන්හලක පියානෝ වාදකයකු ලෙස සේවය කිරීමට අවස්ථාව සැලසෙන අතර පසුව 1942දී ඔහු සහ පවුලේ සියලු දෙනා Treblinka ඝාතන කඳවුර වෙත රැගෙන යාමෙන් වළක්වා ගැනීමට ව්ලඩිස්ලෝ සමත් වෙනවා. ඒ ඔහුගේ හිතවතුන් පිරිසක් මාර්ගයෙන් ව්‍යාජ ලිපිද්‍රව්‍ය සකස් කිරීමෙන් හා වෙනත් සේවයකට අනියුක්ත වීමෙන්  බව ඔහු පසුව සිය චරිතාපදානයෙහි පවසනවා.

නමුත් එය  වැඩිකලක් යාමට පෙර එය අසාර්ථක කරමින් එතැනින්ද ඔවුන් නැවත ඝාතන කඳවුර වෙත පිටත් කර  හරිනු ලබනවා. ඝාතන කඳවුර බලා පිටත්වන දුම්රියට ඇතුල්වීමට මොහොතකට පෙර ඔහුට හිතවත් යුදෙව් නිලධාරියෙක් විසින් ඔහුව බේරාගෙන පිටත් කර යවනවා. ඒ ඔහු සිය මව පියා සහෝදරයා සහෝදරියන් දුටු අවසන් අවස්ථාවයි.

පසුව ඔහු නැවත කම්කරුවෙක් ලෙස ghettoහි වැඩ අරඹන අතර වසරකට පමණ පසුව ghettoවෙන් පැන ගැනීමට සමත්වනවා. ඉන්පසුව ඔහුට ආරක්ෂාව සලසන්නේ ඔහු ගුවන් විදුලියේ සේවය කරන සමයේ හිතවත්ව සිටි Janina Godlewska නම් ගායිකාවක් සහ ඇගේ සැමියායි. ඔවුන් විසින් ව්ලඩිස්ලෝව ආරක්‍ෂිත ස්ථානයක රඳවා තබන අතර යුදෙව්වන්ට ආරක්ෂාව සැපයීම මරණ දඬුවම හිමිවන වරදක් වුවත් ඔවුන් ඔහුගේ ආරක්ෂාව සහතික කරනු ලබනවා. නමුත් පසුව ඔහුට එම නිවසින්ද පලායාමට සිදුවනවා.

පියානෝ හඬට ලැදි නාසි හමුදා නිලධාරියා

මේ ආකාරයට සැඟවෙමින් ජිවිතය ගතකරන ඔහු වොර්සොහි විනාශව ගිය ගොඩනැගිල්ලක සැඟව සිටියදී හදිසියේම ඔහු ඉදිරියේ ඉහළ ජර්මන් හමුදා නිලධාරියෙක් පෙනී සිටිනවා. ඔහු Wilm Hosenfeld ය. මෙහි සිටින්නේ යුදෙව්වකු බව දැනගත්තද හානියක් නොකර ඔහුගෙන් විස්තර විමසීමට තරම් ඔහු ඉවසිලිමත් වනවා. එහිදී තමන් පියානෝ වාදකයෙක් බව පැවසූ පසු එම නිලධාරියා එහි පියානෝවක් වෙත ඔහුව රැගෙන ගොස් වාදනය කරන ලෙස ඉල්ලා සිටිනවා. වසර ගණනාවකට පසුව පියානොවකට අත තබන ඔහු සිය Noctune, C# Minor ස්වරසංගතයෙන් වාදනය කරනු ලබනවා. මෙය අසා ඔහු ඉමහත් සතුටට පත්වනවා.

ඉන් පසුව නිලධාරියා පිටව යන අතර ව්ලඩිස්ලෝද උඩු මහලේ සැඟවෙනවා. මේ වනවිට ජර්මන් හමුදාව විසින් මෙම ගොඩනැගිල්ල යුද කාර්යාලයක් ලෙස පවත්වාගෙන යමින් තිබු නිසා පෙර හමුවූ නිලධාරියා ඉන් පසුව ආහාර පාන සපයාදීමට පවා ඔහු කෙරෙහි කාරුණික වනවා. ඒ අතර මේ වන විටත් සෝවියට් රතු හමුදාව ආසන්නයටම පැමිණ ඇති බවත් සති කිහිපයකින් ඔවුන් මෙහි පැමිණෙන බවත් නිලධාරියා ප්‍රකශ කරනු ලබනවා.

රතු හමුදාව ආසන්නවත්ම නාසි හමුදාව වෝර්සෝ අත්හැර යන අතර ව්ලඩිස්ලෝට සමුදෙමින් නාසි නිලධාරියා පිටව යන්නේ ආහාර සහ සීතලෙන් ආරක්ෂා වීමට ඔහුගේ කබායද පිරිනමමිනි. රතු හමුදාවන් විසින් ව්ලඩිස්ලෝව සොයාගන්න අතර පසුව Wilm Hosenfeld නිලධාරියා රතු හමුදාව යටතට පත්වන බවත් ඔහු 1952 අගෝස්තුහිදී සෝවියට් සිර කඳවුරකදී මරණයට පත්වන බවත් සඳහන් වනවා.

නිදහසින් පසුව ව්ලඩිස්ලෝ නැවතත් පෝලන්ත ගුවන්විදුලියේ සුපුරුදු සංගීත කටයුතු සඳහා යොමුවන අතර ඔහු විසින් බොහෝ සංගීත නිර්මාණද බිහිවනවා. 1950දී ඔහු Halina තරුණිය සමග විවාහ දිවියට පත්වන අතර දරුවන් දෙදෙනෙකුගේ පියෙකුද බවට පත්ව සිය ජීවිතය පොලන්තයේම ගත කරනු ලබනවා.

දෙවැනි ලෝක යුද තත්ත්වය තුල සිය ජිවිත අත්දැකීම් පාදක කරගනිමින් 1946දී Śmierć miasta(Death of a city) නමින්  ස්වයං චරිතාපදානයක් ද එළිදක්වනු ලබනවා. මෙය 1998දී ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කිරීමෙන් පසුව ලොව පුරා ඉතා ජනප්‍රිය කෘතියක් බවට පත්වනවා.

ඉන් වසර දෙකකට පසුව, 2000 වසරේ ජුලි මස 6 වන දින වෝර්සෝහිදී ඔහු යලි නොනැගිටින නින්දට පත්වනවා.

මෙම කෘතියේ එන අත්දැකීම් පාදක කරගමින් පෝලන්ත ජාතික චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වන Roman Polanski විසින් මෙය 2002 වසරේදී සිනමාවට ගෙන එනු ලබනවා.


(under the courtesy of roar.media web)

More News »