රොබර්ට් මුගාබේ – නිදහස් සටනෙන් අගමැති ධූරයට​

2017-11-20 11:06:00       51
feature-top
රොබර්ට් මුගාබේ පිළිබඳ අප විසින් ගෙනෙන ලද පළමු ලිපියෙන් අප ඔහුගේ ජීවිතයේ මුල් කාලය​, අධ්‍යාපනය සහ නිදහස් සටනට සම්බන්ධ වීම පිළිබඳ කරුණු ගෙන දැක්වූවා ඔබට මතක ඇති.

මෙම සබැඳියෙන් ඔබට එම ලිපිය කියවිය හැකියි.

රොබර්ට් මුගාබේ පිළිබඳ ලිපි පෙළෙහි දෙවන ලිපියෙන් අප සාකච්ඡා කරන්නේ ඔහු නිදහස් සිම්බාබ්වේ රාජ්‍යයේ අගමැති ධූරය කරා ගිය ගමන පිළිබඳවයි. විශේෂයෙන්ම රොඩේෂියානු පාලනයට එරෙහි සන්නද්ධ අරගලය කෙරෙහි මෙහිදී අප අවධානය යොමු කරනු ලබනවා.

ආයුධ සන්නද්ධ අරගලය​

1964 දී උතුරු රොඩේසියාව බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබුවා. සැම්බියාව ලෙස නම් කරන ලද එරට නායකයා වූයේ එහි නිදහස් සටන මෙහෙයවූ කෙනත් කවුන්ඩා. ඔහු ජෝෂුවා න්කෝමෝට සහය පළ කළ අතර ඒ අනුව පක්ෂය එහි සිට කටයුතු කිරීම ආරම්භ කළා. ඔවුන් සිය සන්නද්ධ අංශය ලෙස සිම්බාබ්වේ මහජන විප්ලවකාරී හමුදාව (Zimbabwe People’s Revolutionary Army – ZIPRA) පිහිටුවා ගත්තා.

මේ අතර ZANU පක්ෂය විසින් 1965 දී සිය සන්නද්ධ අංශය ලෙස සිම්බාබ්වේ අප්‍රිකානු ජාතික විමුක්ති හමුදාව (Zimbabwe African National Liberation Army – ZANLA) පිහිටුවා ගත්තා. ඔවුන් මුලින් ක්‍රියාත්මක වූයේ ටැන්සානියාවේ සිටයි. ZAPU සහ එහි සන්නද්ධ අංශයට සෝවියට් රුසියාවේ සහය ලැබුණ අතර කල් යද්දී මහජන චීනය සිය සහය ZANU වෙත ලබා දුන්නා.

ZANU පක්ෂයට සහ එහි ZANLA සන්නද්ධ අංශයට තිබුණු ප්‍රධාන බාධකයන් වූයේ මුල් කාළයේදී ඔවුනට දේශපාලන සහ සන්නද්ධ කටයුතු සඳහා ඇති තරම් පුහුණු කාඩර්වරුන් නොසිටීම සහ දකුණු රොඩේෂියා දේශසීමාව අසළ ප්‍රදේශයක සිට කටයුතු කිරීමේ අවස්ථාව නොලැබීමයි. මෙහි මුල් ගැටලුව විසඳා ගැනීමට ඔවුනට සහය ලැබුණේ මහජන චීනයෙන්. මේ අනුව ඔවුන් එම සංවිධානයන්ට මාඕවාදී දේශපාලන දර්ශනය සහ ගරිල්ලා සටන්ක්‍රම පිළිබඳ පුහුණුව ලබා දුන්නා. ඇතැම් කාඩර්වරුන් මහජන චීනයේ පුහුණුව සඳහා ද පිටව ගියා. මේ අතර ග්‍රාමීය ජනතාව අතර දේශපාලන කටයුතු කිරීම කෙරෙහි ද ඔවුන් වැඩි අවධානය යොමු කළා.

මේ අනුව 1970 දශකයේ මුල් භාගය වනවිට මාඕවාදී ගරිල්ලා සටන් ක්‍රමවලින් සහ ග්‍රාමීය ජනතාව බල ගැන්වීමේ දේශපාලන උපක්‍රමවලින් සන්නද්ධ වූ ZANU සහ එහි සන්නද්ධ අංශය ZANLA, කෙමෙන් කෙමෙන් සිම්බාබ්වේ නිදහස් සටනේ පෙරමුණට එනු දක්නට ලැබුණා. මෙකල දකුණු රොඩේෂියාවට යාබද මොසැම්බික් හි FRELIMO සංවිධානය එහි පෘතුගීසි යටත් විජිත පාලනයට එරෙහි සන්නද්ධ අරගලයක් ක්‍රියාත්මක කළ අතර ඔවුන් විසින් එරට ඇතැම් ප්‍රදේශ සිය පාලනයට නතු කරගෙන තිබුණා. ඒ අතර දකුණු රොඩේෂියා දේශසීමාවේ ටෙටේ පළාත ද වූ අතර මේ හේතුවෙන් ZANLA සංවිධානයට දකුණු රොඩේෂියාවට පහර දී පසු බැසිය හැකි ප්‍රදේශයක් ලැබුණා. මේ අනුව සංවිධානයට තිබූ දෙවන බාධකය ද විසඳුණා. 1975 දී මොසැම්බික් රාජ්‍යය නිදහස ලැබූ හෙයින් ZANU සහ ZANLA සංවිධානයට එහි සිට කටයුතු කිරීම තවත් පහසු වුණා.

1977 වනවිට මුගාබේ ZANU හි සිය බලය තහවුරු කරගත් අතර එහි නායකයා බවට පත් කරගනු ලැබුණා. මේ සමයෙහි ඉයන් ස්මිත් පාලනය කෙරෙහි එල්ල වන පීඩනය ද ඉහළ යමින් තිබුණා. දකුණු රොඩේෂියාවට දකුණින් පිහිටි දකුණු අප්‍රිකාවේ වර්ණභේදවාදී ආණ්ඩුව ස්මිත්ට සහය පළ කළද වෙනත් රජයන් ඔහුට සහය දැක්වූයේ නැහැ. එමෙන්ම ආර්ථික අපහසුතා හේතුවෙන් දකුණු අප්‍රිකාව ද සිය වර්ණභේදවාදී ක්‍රමය පවත්වාගැනීම පිළිබඳ අර්බුදයක් කරා කෙමෙන් කෙමෙන් ගමන් කරමින් තිබුණා. එය දකුණු රොඩේෂියාවට ද බලපෑමක් ඇති කළා.

දේශපාලන විසඳුමක්

ඉයන් ස්මිත් මේ අවස්ථාවේ මෙම අපහසුතාවයෙන් මිදීමට උත්සාහ කළේ දේශපාලන විසඳුමක් හඳුන්වා දෙමින්. 1979 දී ක්‍රියාවට නැගුණ මෙම අභ්‍යන්තරික එකඟතාවය (Internal Settlement) අනුව බහුතර කලු ජාතිකයන්ට රාජ්‍ය පාලනය සඳහා අවස්ථාව උදා වුණා. රටේ නම ද සිම්බාබ්වේ රොඩේසියා ලෙස වෙනස් කෙරුණා. 1979 දී පවත්වන ලද මැතිවරණයකින් පසු බිෂොප් ඒබල් මුසරේවා අග්‍රාමාත්‍යවරයා බවට පත් වුණා.

කෙසේ වෙතත් මෙම ක්‍රියාවලිය සඳහා මේ වනවිට සන්නද්ධ අරගලවල නිරත වූ ZANU සහ ZAPU පක්ෂ සම්බන්ධ කර ගැණුනේ නැහැ. මේ වනවිට දේශප්‍රේමී පෙරමුණ නමින් ඒකාබද්ධතාවකට එළඹ සිටි මෙම සංවිධාන විසින් එම අභ්‍යන්තරික එකඟතාවය ප්‍රතික්ෂේප කෙරුණා. අන්තර්ජාතිකව ද මෙම නව රජයට පිළිගැනීමක් ලැබුණේ නැහැ.

මේ අනුව දේශප්‍රේමී පෙරමුණ ද සම්බන්ධ කරගනිමින් නව දේශපාලන විසඳුමක් පිළිබඳ ලන්ඩනයේ ලැන්කැස්ටර් හවුස් මන්දිරයේදී නව සාකච්ඡා මාලාවක් පවත්වන ලද අතර ඒ අනුව සංවිධාන ද සම්බන්ධ කරගත් ලැන්කැස්ටර් හවුස් එකඟතාවට එළඹෙනු ලැබුණා. ඒ අනුව 1980 පෙබරවාරියේදී ZANU සහ ZAPU පක්ෂද සහභාගී වූ මහමැතිවරණයක් පවත්වන ලද අතර එසේ බිහිවන නව රජය යටතේ අප්‍රේල් මාසයේදී සිම්බාබ්වේ රාජ්‍යයට ස්වාධීනත්වය ලබා දීමට එකඟතාව ඇති වුණා.

මෙම මැතිවරණයේදී ZAPU පක්ෂය ඇතුළු අනෙකුත් පක්ෂ පරාජය කොට ZANU විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාගත්තා. නව ව්‍යවස්ථාදායකයේ ආසන 100 න් 20 ක් සුදු ජාතිකයන් සහ වරප්‍රසාද ලත් කළු ජාතිකයන් සුලු පිරිසකගේ ඡන්දයෙන් තෝරාගනු ලැබුණා. එම “විශේෂ ඡන්දදායක ලැයිස්තුවට” අයත් නොවූ අනෙක් සියලු ඡන්දදායකයන් “පොදු ඡන්ද දායක ලැයිස්තුවට​” ඇතුලත් වුණා. ඔවුන් විසින් ආසන 80 ක් සඳහා නියෝජිතයන් තෝරාගනු ලැබුණා. මෙම 80 දෙනාගෙන් 57 දෙනෙකුම දිනාගනු ලැබුණේ ZANU පක්ෂය විසින්.

මේ අනුව 1980 අප්‍රේල් මාසයේදී සිම්බාබ්වේ රාජ්‍යය නිදහස ප්‍රකාශ කළා. එහි නාමමාත්‍ර ජනාධිපති ලෙස කනාන් බනානා පත් වූ අතර මුගාබේ අග්‍රාමාත්‍ය ධූරයට පත් වුණා.

සිම්බාබ්වේ හි නායකයා ලෙස ඔහු කටයුතු කළ ආකාරය පිළිබඳ අප ඊළඟ ලිපියෙන් සළකා බලමු.


(under the courtesy of roar.media web)

More News »