සිංහල සංගීතයේ අනන්‍යතාව සොයා ගිය යුග පුරුෂයා – සුනිල් ශාන්ත

2017-11-28 10:25:00       33
feature-top
භාරතීය හින්දුස්ථාන් සංගීතය වෙනුවට දේශීය සංගීතයේ ලකුණ සොයා යමින් සිංහල බසට අනුව යන සංගීතයක් හදුන්වාදීමේ වෑයමක නිරත වූ සංගීත ලොවේ සිංහ ප්‍රතිරූපය බවට පත් වූ සුනිල් ශාන්තයන් පිළිබඳවයි අද අප සටහනක් තැබීමට සුදානම් වන්නේ.

සිංහල ගීත සාහිත්‍යට ඔහු විසින් කළ අපමණ සේවාව හැරුණු කොට ඔහු සිය අභිමානය බිඳ නොගත්, කොන්ද කෙලින් තබාගෙන කිසිදු නිලයකට, බලයකට හෝ ධනයකට යටත් නොවී යුගයක්‌ බැබළ වූ දුර්ලභ පුරුෂයෙක්‌ විය. තම ප්‍රතිපත්තිමය අභිමානය නිසා වරෙක තමන්කළ රැකියාවද අත්හැර දමා රෙදි වෙළෙඳාම, බයිසිකල් අලුත්වැඩියා කිරීම, ජායාරූපකරණය වැනි වෘත්තීන් තුළින් තම දිවිය ගැට ගසා ගත් සුනිල් ශාන්තයන් මුළු මහත් කලා ලොවටම ආදර්ශයක්.

ඉතින් මෙරට කලා කෙත ශ්‍රී ලාංකික අනන්‍යතාවයකින් යුතු ගීත සාහිත්‍යකින් අස්වැද්දීමට තම දිවිය කැප කළ සුනිල් ශාන්තයන් පිළිබඳ මෙම සටහන අවසානයේදී අපට මඟ හැරුණු දෙයක් ඇත්නම් එය comment එකකින් සටහන් කර යන්නට ඔබට ඉඩ ප්‍රස්ථාව විවර කර තිබෙනවා.

බද්ද ලියනගේ දොන් ජෝසප් ජෝන්

කතෝලික පවුලක බද්ද ලියනගේ දොන් පෙම්යානු නම් පියාටත්, කූරුගමගේ එංගල්තිනා නම් මෑණියන්ටත්  දාව 1915 අප්‍රේල් මස 14 වන දින ජාඇල පමුණුගම ප්‍රදේශයේදී බද්ද ලියනගේ දොන් ජෝසප් ජෝන් ලෙස දරුවන් තිදෙනෙකින් යුත් පවුලක අවසානයා ලෙස  උපත ලබන මොහු සිංහල කමට ඇති ලැදියාව හේතුවෙන් පසු කාලයේදී තම නම සුනිල් ශාන්ත ලෙස වෙනස් කරනු ලබනවා.

ජෝසප් ඉපදී  වසර දෙකක් ගතවන විට මව හා පියා දෙදෙනාම මොහුට අහිමි වෙනවා. ඉන් පසුව මෙම කුඩා දරුවාව පෝෂණය කරනු ලබන්නේ ඔහුගේ මාමා සහ මිත්තනියයි. කුඩා ජෝසප් මූලික අධ්‍යාපනය දෙහියාගාත රජයේ පාඨශාලාවට ඇතුළත් වීමෙන් ලබන අතර පසුව කොටහේනේ ශාන්ත බෙනඩික් විද්‍යාලයෙන්  හා ගාල්ලේ මවුන්ට් කැල්වරි විද්‍යාලයෙන් පාසල් අධ්‍යාපනය අවුරුදු 16 දී නිමා කරන්නේ  පාසැල් හැරයාමේ විභාගයෙන් ප්‍රථම ස්ථානය ලබා වීරරත්න ත්‍යාගයද දිනා ගනිමින්.

ශාන්ති නිකේතනයට  හා භාත්ඛණ්ඩ සංගීත විද්‍යාලයට

1933 දී වග්ගොන කතෝලික ගුරු අභ්‍යාස විද්‍යාලයට ඇතුළත් වෙන තරුණ ජෝසප්  ඉන් ලද පුහුණුවෙන් අනතුරුව 1936 දී ගාල්ලේ මවුන්ට් කැල්වරි පාසලේ පුහුණුවන සිංහල, චිත්‍ර කර්මය හා සංගීත විෂයන් තුනම උගන්වන ගුරුවරයෙකු ලෙස පත් වීමක් ලබනවා.

1939දී ඉන්දියාවේ ශාන්ති නිකේතනයට ඇතුළත් වෙන ජෝසප් එහිදී කතකලී, මන්පුරී නැටුම් මෙන්ම සංගීතයද මැනවින් හදාරනවා. ඉන් අනතුරුව 1940 දී  ලක්නව්හි භාත්ඛණ්ඩ සංගීත විද්‍යාලයට ඇතුළත් වී වසර හතරක කාලයක් උත්තර භාරතීය සංගීතය ප්‍රගුණ කර ප්‍රථම පන්තියේ සාමාර්ථයක් හිමි කර ගන්නවා. වාද්‍ය විශාරද උපාධිය රැගෙන 1944දී නැවතත් මෙරටට පැමිණෙන්නේ එම උපාධියක් ලැබූ ප්‍රථම ශ්‍රී ලාංකිකයා ලෙසින්.

රාගධාරී සම්ප්‍රදායෙන් බැහැරව දේශිය උරුවක් ඇති සංගීතයක් බිහි කිරීම

ලංකාවට පැමිණ රක්වාන ශාන්ත අන්තෝනි විද්‍යාලයේ දෙවන පෙළ ගුරුවරයෙක් ලෙස තම වෘත්තීය අරඹන ජෝසප් ඉන්දියානු රාගධාරී සංගීතයෙන් බැහැරව දේශීය සංගීතයක් නිර්මාණය කරන්නට පුරෝගාමිත්වය අරඹන්නේ මෙම කාල වකවානුවේදීයි.

ඉන්දියාවේදී රාගධාරී සංගීතය වසර ගණනාවක් හදාරා ශ්‍රී ලංකාවට එය අමු අමුවේ ආදේශ කිරීමේ හැකියාව ඔහුට තිබුණා. ඒ වන විට ඒ සඳහා අවශ්‍ය වටපිටාව පවා ශ්‍රී ලංකාවේ සැකසී තිබුණා.එකළ ශ්‍රී ලංකාවේ සංගීත කලාව ඉදිරියට ගියේ ඉන්දියානු තනු වලට නිර්මාණය කරන ලද ගීත තුළින්.

මෙවැනි වකවානුවක මෙරටට පැමිණෙන ජෝසප් තරුණයාට කුමාරතුංග මුනිදාසයන්ගේ ලිපි හා කවි පන්ති කියවීමට අවස්ථාව ලැබෙනවා. එම කවි කියවීමෙන් පසු මෙරට ප්‍රබල නාද මාලාවක් ඇති බව ඔහු හඳුනාගත් බව සදහන් වෙනවා. මෙම හදුනාගැනීම් තුළින් අපේ සම්ප්‍රදායේ නාද මාලා හා ඔහු හැදෑරූ ඉන්දියානු සංගීතය යොදා ගෙන නව ආරක සංගීතයක් දායාද කරන්නට ජෝසප් උත්සාහ කළා.

1945 -1954 කාලයන් තුලදී කුමාරතුංග මුනිදාසයන්ගේ භාෂාවට අනුව කටයුතු කරන හෙළ හවුලට එක් වූ ජෝසප් එතැන් පටන් සුනිල් ශාන්ත ලෙස සිය නම වෙනස් කරනවා.

“රේඩියෝ සිලෝන්“ ගුවන් විදුලි සේවයේ ආරම්භක ගායකයකු ලෙස


පසු කාලයේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන් “සුනිල් ශාන්ත උපහාර ගී කැසට් පටය “නමින් ගීත 12ක් අඩංගු කැසට් පටයක් එළි දක්වන ලදී. එහි මුල් කවරය 

රේඩියෝ සිලෝන් ගුවන් විදුලි සේවයේ ආරම්භක ගායකයෙකු ලෙස ඇතුල් වීමට ජෝසප්ට හැකියාව ලැබෙනවා. 1951 වසරේ පටිගත කළ මුල්ම ගීතය වන සුනිල් ශාන්තයන්ගේ පද රචනාවක් මෙන්ම සංගීත නිර්මාණයක් වූ “ඕලු පිපීලා” යන ගීතය ඉන්දියානු තනු නිර්මාණයෙන් හා ගායන විලාශයෙන් බැහැර වුවක් ලෙස විචාරකයන් විසින් හදුන්වනවා.

එම ගීතය කොතරම් දුරට ජනප්‍රියතාවට පත් වූවාද කියනවානම් ගීතය බ්‍රිතාන්‍ය ගුවන් විදුලි සේවයෙන් ඇසූ රජ කුමරියකට සුනිල් ශාන්තයන් දැක බලා ගැනීමේ ආශාවක් ඇති වූ බව සදහන් වෙනවා.

එකළ මෙම ගීතය ජනතාව තදින් වැළදගත් ගීතයක් වූ අතර අද පවා එය රසික හදවත් අමන්දානන්දයට පත් කළ හැකි ගීයක් ලෙස හැදින්වීම ඉතා නිවැරදියි. ලංකාවට ගැළපෙන ගී ආර කුමක්ද යන්න අවබෝධ කරගැනීමට සුනිල් ශාන්තට තම පළමු තැටිගත කළ ගීතයෙන් හැකියාව ලැබෙනවා.

අන් කිසිදු රටක සංගීත ආරකට නොයමින් මෙරට අනන්‍යතාවට ගැලපෙන අයුරින් අරිසෙන් අහුබුදු සූරීන් විසින් රචනා කරන ලද “වලාකුළින් බැස සමන් කුලත් වැඳ එලෝ බලා යනවා” යන ගීය සුනිල් ශාන්තයන්ගේ ප්‍රතිභාපූර්ණ හඬ වචනවල ඇති අරුත් තීව්‍රර කරන ගීයක්. “එම්බා ගංගා ගංගා නවතිනු නවතිනු ගංගාවේ” අරිසෙන් අහුබුදු සූරීන්ගේ තවත් රචනාවක් වූ එම ගීතය ශ්‍රවනය කිරීමේදී චිත්ත රූප මැවෙන්නේ හඩේ ඇති ප්‍රභලත්වය හේතුවෙන්. සුනිල් ශාන්ත ලකුණේ තවත් විශිෂ්ට නිර්මාණයක්‌ ලෙස රැපියල් තෙන්නකෝන් රචනා කළ  “දුදනොද බිඳ” ගීතය සැළකෙනවා.

කුමාරතුංග මුනිදාස, රැපියල් තෙන්නකෝන්, මර්සලින් ජයකොඩි පියතුමා, ජයන්ත වීරසේකර හා අරිසෙන් අහුබුදු වැනි එකළ ප්‍රවීණ ගී පද රචකයන් සුනිල් ශාන්තයන්ගේ ගීත රචනා කර තිබෙනවා. ඒ ගීත අතරින් “දිය ගොඩ සැමතැන“, “බෝවිටියා දං පලුකන් වාරේ“, ” සුවද රෝස මල් නෙලා” , “කෝකිලයන්ගේ” හා “මිහිකත නලවාලා” වැනි ගීත අදටත් ජනප්‍රියයි. රේඛාව හා සංදේශය චිත්‍රපට ගීතයන්හි විශිෂ්ට තනු නිර්මාණය කරන ලද්දේද සුනිල් ශාන්තයන් විසින්. මර්සලින් ජයකොඩි පියතුමන් විසින් රචිත “වෙසක් කැකුළු අතු අග හිඳ” ගීතය උදාහරණයක් ලෙස දක්වන්නට පුළුවන්.

“රේඩියෝ සිලෝන්” ගුවන් විදුලියෙන් සමුගැනීම


සුනිල් ශාන්ත 100 වන ජන්ම දිනය සිහිකර සංවිධානය කළ “ඕලු පිපීලා” ප්‍රසංගයේ අයිවෝ ඩෙනිස් විසින් සුනිල් ශාන්තයන්ගේ ගීත ගායනා කළ අවස්ථාව. 

1952 වසරේ රජය විසින් ඉන්දියානු මහාචාර්ය රත්නජයන්කර් ගෙන්වා කළ ලාංකීය සංගීත ශිල්පීන්ගේ හඩවල් වර්ගීකරණය කිරීමේ ක්‍රියාවලියට විරුද්ධව ප්‍රබල හඩක් නඟන සුනිල් ශාන්ත ඒ හේතුවෙන් ගුවන් විදුලියෙන් සමු ගනිමින් ඉන්දියාවේ සේ අපේ රටේ හඩවල් එලෙස වර්ගීකරණය කළ නොහැකි බවත් එය ශිල්පීන්ගේ දක්ෂතාවය හෙළා දැකීමක් ලෙසත් සදහන් කරනවා.

මෙම තීරණාත්මක සිදුවීමෙන් පසුව ඔහු කිසිදු ගුවන් විදුලි වැඩසටහනකට සහභාගී වන්නේ නෑ.

රැකියාව අහිමි වීමෙන් පසු

රැකියාව අහිමි වීමත් සමඟ ජීවිකාව සඳහා ඔහු ජයාරූප ශිල්පියෙක් ලෙස කටයුතු කරනවා ඊට අමතරව වරින් වර  වඩු වැඩ, මේසන් වැඩ, බයිසිකල් අළුත්වැඩියාව, හා රේඩියෝ අලුත්වැඩියාව වැනි වෘත්තීන් වලත් නිරත වෙනවා.

1953 වර්ෂයේදී මරදානේ කුඩා පාසලක් අරඹා ශිෂ්‍යන් දස දෙනෙකුට පමණ නොමිලේ අධ්‍යාපනය ලබා දෙන්නත් මෙතුමා කටයුතු කරනවා. 1967දී නැවතත් ගුවන් විදුලියට සම්බන්ධ වන ලෙස නෙවිල් ජයවීර කළ ඉල්ලීමක ප්‍රතිඵලයක් ලෙස “පංචමධුර” වැනි අර්ථවත් වැඩසටහන් ශ්‍රාවකයන් වෙත ගෙන ඒමට හැකියාව ලැබෙනවා.

1981 අප්‍රේල් 11 වන දින මේ අසහාය කලාකරුවා හෘදයාබාධයකින් මරණයට පත් වන්නේ ඔහුගේ පුත් ජගත් ශාන්ත අකල් මරණයකට ලක් වීම නිසා ඇති වූ කම්පනය හේතුවෙන් බව පැවසෙනවා. ශ්‍රී ලාංකිකයන්ට අනන්‍ය ගී ආරක් හදුන්වා දුන් සුනිල් ශාන්ත නම් යුග පුරුෂයා වෙනුවෙන් මහාචාර්ය සුනිල් ආරියරත්න විසින් රචනා කළ “සුනිල් සාන්ත අධ්‍යනය” නම් කෘතියේ එන ඔහු පිලිබඳ තැබූ සටහනකින් ලිපිය අවසාන කරන්නට අපි තීරණය කළා.

“බූරු ඇඳක විනා සුව සයනයක නොසැතපුණු, රළු අහකර විනා රස මසවුලක රස නොබැලූ, කාර් කටුවල සහ බස්‌ කබල්වල විනා සුඛෝපභෝගී රියක ගමන් බිමන් නොගිය, දළ කපු පිළියෙන් විනා දුහුල් සළුවෙන් සිරුර නොසැරහූ, ගීයක්‌ අසන්ට ගුවන් විදුලි යන්ත්‍රයක්‌වත්, තනුවක්‌ තනන්ට තූර්ය භාණ්‌ඩයක්‌වත්, නිවසෙහි නොතිබුණු වෙළෙඳුන්ට නොවිකිණුනු, දේශපාලනඥයන්ට නොරැවටුණු, අයුක්‌තියට නොනැමුණු, සංගීතයෙහි උඩුගං බලා පිහිනන්ට වෙර වැඩූ ඒ අපූර්ව මිනිසා…”


(under the courtesy of roar.media web)

More News »